මා ඔයේ සැඟවුණු දරුවන්ගේ දේහයන් නිවෙස්වලට

මා ඔයේ සැඟවුණු දරුවන්ගේ දේහයන් නිවෙස්වලට

March 28, 2024   10:13 pm

මා ඔයේ දියනෑමට ගොස් ඊයේ (27) දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ පාසල් සිසුන් සිව්දෙනාගේ මෘත දේහ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ අද (28) සිදුකර තිබූ අතර එම දේහයන් නිවෙස් වෙත රැගෙනවිත් තිබුණි.

පාසල නිමවී සිසුන් 11 දෙනෙක් මිතුරෙකුගේ නිවසකට ගොස් පසුව දිය නෑමට ගිය අවස්ථාවේදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා තිබුණි. 

අනතුරට මුහුණ පා ඇත්තේ පොල්ගහවෙළ ශාන්ත බර්නාදෙත් විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ දරුවන් පිරිසකි.  

අනතුරට ලක්වූ සිසුන් අලව්ව සහ පොල්ගහවෙල ප්‍රදේශවල පදිංචිකරුවන්ය. 

අනතුරින් මිය ගිය අලව්ව පහළ වලකුඹුර ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි වියේ පසුවූ  කලණ ලක්ෂිත අමරසිංහ දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් දරුවා වන අතර ඔහුට බාල නැගණියක් සිටී. 

ඔහු 15න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කර තිබුණි. 

අනතුරින් මියගිය එම ප්‍රදේශයේම පදිංචි 14 හැවිරිදි විදස් දෙවිමිණත් පවුලේ වැඩිමල් දරුවා වන අතර ඔහුට බාල සොහොයුරෙක් සිටි. 

කවීන් තෙනුර පොල්ගහවෙල මැද්දලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුත් දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් දරුවාය.

පොල්ගහවෙල පිදිවිල්ල තලවත්තේගෙදර පදිංචි රවිදු රන්මිණ පිරිමි දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවාය. 

මියගිය සිසුන්ගේ මෘත දේහ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පොල්ගහවෙල රෝහලේදී අද පස්වරුවේ සිදුකෙරුණි.