පිටිගල ඝාතන සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

පිටිගල ඝාතන සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

March 18, 2024   04:38 pm

පිටිගල පොලිස් වසමේ නියාගම, හොරංගල්ල, ගුරුවිලදී  පසුගියදා සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාව මාර්තු 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මාහෙස්ත්‍රාත් මධුෂිකා වාසලමුදලි මහත්මිය අද (18) නියෝග කළාය.

එහිදී හතර දෙනෙකුට වෙඩි වැදුණි. ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර අනෙක් දෙදෙනාට බරපතළ සිදුවිය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශණය කර ප්‍රගතිය වාර්තා කරන ලෙසත් සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය පිටිගල පොලීසියට දැනුම් දුන්නේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ 69 කොටස, නියාගම, තල්ගස්වල ලිපිනයේ පදිංචි නාගොඩවිතාන කසුන් රන්දික නාගොඩවිතාන (36) සහ අලවත්තහේන, ගෝනගල්ගොඩ, තල්ගස්වල ලිපිනයේ පදිංචි කාරියවසම් ලොකුගමගේ ගයාන් ප්‍රසන්න (36) නමැති දෙදෙනාය.

පසුගිය මාර්තු 11 වනදා රාත්‍රී 7.50ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙළෙඳසැල් හිමිකරුවකු ඉලක්ක කර සිදුකරන ලද වෙඩිතැබීමකදී මෙම ඝාතන හා තුවාල සිදු කිරීම් සිදුවිය. 

සිද්ධිය වූ ස්ථානයේදීම එක් අයෙකු මියගොස් තිබෙන අතර අනෙක් පුද්ගලයා මියගොස් ඇත්තේ ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළු කිරීමෙන් පසුවය.

සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇත්තේ කුරුඳු තැලීමේ රැකියාවේ නිරත අයකු වන කරන්දෙණිය ගලගොඩ අත්තේ පදිංචි සතිෂ් මධුශංක (32) නැමැති දෙදෙරු පියෙකි. 

හොරංගල්ල, ගුරුවෙල පදිංචි කටුකුරුන්ද ආරච්චිගේ කවීෂ අංජන (26) ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය. 

රෝහලේදී මියගිය තුවාලකරු බරපතළ තුවාල සහිතව ඇල්පිටිය මුලික රෝහලට ඇතුළු කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය රෝහලට මාරුකර යැවිණි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකුගෙන් එක් අයෙකු ටී - 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇල්පිටිය, කහදූව ප්‍රදේශයට පළා ගොස් තිබෙන බවද පිටිගල පොලීසිය පැවසීය.

තුවාලලැබුවන් අතර සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය සතිෂ් මධුශංක (32) නැමැති අයගේ බිරිඳ වන එන් කේ දිනුෂිකා (32) සහ තලාව, කුරුඳුගහ හැතැක්ම පදිංචි සුනිල් ශාන්ත (54) නමැති දෙදෙනා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ මේ වනවිටත් නේවාසික ප්‍රතිකාර ලබති.

වෙඩිතැබීමෙන් පසු එම ස්ථානයේ වැටී තිබු ටී - 56 හිස් පතොරම් කොපු 18ක් පිටිගල පොලීසිය විසින් සොයා ගෙන තිබුණි.

එම වෙළෙඳසැලේ හිමිකරු ඉලක්ක කර වෙඩිතැබීම් සිදුකර ඇතත් ඔහුට කිසිම හානියක් වී නැති බවද මෙය මුදල් ආරවුලක් මත හෝ වෙළෙඳසැලේ හිමිකරු විසින් මීට පෙර සිදුකරන ලද ඝාතනයක් සම්බන්ධයෙන් වූ පළි ගැනීමකට එය සිදුකර තිබේද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වි තිබේ.