ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනාම විපක්ෂයට අසුන්ගන්නවා

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනාම විපක්ෂයට අසුන්ගන්නවා

April 24, 2018   01:07 pm



ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීම ස්ථිර බව හිටපු අමාත්‍ය  චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

කිසිදු අවස්ථාවක මෙම 16 දෙනාගෙන් කිසිඳු මන්ත්‍රීවරයෙකු යළි ජාතික ආණ්ඩුව සමඟ එක් නොවන බව ඔහු සඳහන් කළේය.

අද(24) පෙරවරුවේ කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඊට සහය පල කරමින් එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වෙයි.

මෙහිදී ජාතික ආණ්ඩුවෙන් සහ අමාත්‍යධුරවලින් ඉවත් වීමට තමන් ගනු ලැබූ තීරණය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවද හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.

මේ අතර අද පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් විය.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය මඩකලපුව ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි.