දෙමළ සන්ධානය ජාතික ආණ්ඩු වෙනස්වීම ගැන තවමත් තීරණයක් අරන් නෑ

දෙමළ සන්ධානය ජාතික ආණ්ඩු වෙනස්වීම ගැන තවමත් තීරණයක් අරන් නෑ

February 14, 2018   09:05 am



ජාතික ආණ්ඩුවේ සිදුවන වෙනස්කම් මත බලය පිහිටුවීමට  එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන පක්ෂ දෙකෙන් එකකටවත් සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය තවමත් නිළ තීරණයක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

ජාතික ආණ්ඩුවේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් සුමන්තිරන් මහතාගෙන් සිදුකළ විමසීමකදී මන්ත්‍රීවරයා එලෙස පැවසුවේය.

සුමන්තිරන් මහතා පැවසූවේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ආණ්ඩු‍ව වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අර්බුදයක් හටගෙන ඇති අතර, දෙමළ ජාතික සන්ධානය අදාළ අර්බුදය වෙනුවෙන් මැදිහත්වීමක් සිදුනොකරන බවයි.

එක්සත් ජාතික පක්ෂය හෝ ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකෙන් කුමන පක්ෂයක් ජාතික ආණ්ඩුව තුළ බලය පිහිටුවීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවද හෙතෙම පැවසුවේය.

සුමන්තිරන් මහතා වැඩිදුරටත් පැවසූවේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගන්නා  හා දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් නිසි පිළිතුරක් ලබාදීමට හැකියාවක් ඇති පක්ෂය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබාදීමට කටයුතු කරන බවයි.

වර්තමානයේ පවතින දේශපාලන අර්බුද හමුවේ දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබගැනීම තීරණාත්මක සාධකයක් වන බවද හෙතෙම පැවසුවේය.