ශ්‍රියානි ගියා නෙවේ යැව්වා-කේන්තිය නැති වුණාම හිත වෙනස් වෙයි

ශ්‍රියානි ගියා නෙවේ යැව්වා-කේන්තිය නැති වුණාම හිත වෙනස් වෙයි

December 11, 2017   03:29 pm

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ජනාධිපතිවරයාට සහය දැක්වීමේ තත්ත්වයට හිතාමතා ඇයව පත් කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද(11) පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

ශ්‍රියානි විජේවික්‍රම මහත්මියට කිසිදු ප්‍රතිපත්තිමය ගැටළුවක් හෝ කලකිරීමක් නොතිබුණු අතර, එම තත්ත්වය ඇති වුයේ නාම යෝජනා කමිටුව කැඳවීමෙන් පසුව බව ද ගම්මන්පිල මහතා පවසයි.

අම්පාර දිස්ත්‍රික්කයේ නායකයින් හය වතාවක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ජාතික නාමයෝජනා කමිටුවට කැඳවීමක් කළ අතර, සමහර නායකයින් ඒ සඳහා එක් නොවු බවද ඒ නිසා ශ්‍රියානි විජේවික්‍රම මහත්මියට රස්තයාදු විමට සිදුවු බව ද පැවසු ගම්මන්පිල මහතා, අවසානයේ ඇති වු තත්ත්වය හමුවේ දේශපාලන මිනීමැරුමක් සිදුවු බව ද කියා සිටියේය.

පවතින තත්ත්වය හමුවේ ආණ්ඩුවේ ගත වු තෙවසර පිළිබඳ ජනමත විමසුමක් බවට පුංචි ඡන්දය පත් කර ඇති මොහොතක මීට වඩා දූරදර්ශීව කටයුතු කිරීමට සිදුවන බව ද ගම්මන්පිල මහතා පැවසීය.

කෙසේ හෝ පසුගිය වසර තුන පුරා සටන් කළේ වැඩ බැරි ආණ්ඩුව ගෙදර යැවීමට මිස තම ආධාරකරුවන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීධූර ලබා දීමට නොවන බවද මන්ත්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අපේක්ෂකත්වය වෙනුවෙන් ආණ්ඩුවට සහය දීමට පුළුවන් නම් ජනතාව දේශපාලඥයින් විශ්වාස කරන්නේ කෙසේ ද යනුවෙන් ප්‍රශ්න කර සිටි ගම්මන්පිල මහතා දුක කේන්තිය නිවී ගිය පසු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය හිත වෙනස් කර ගනිවි යැයි තමා බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරයා මෙහිදි පැවසීය.