සංවර්ධනයට මුවාවු තවත් නීති විරෝධී වැඩක්

සංවර්ධනයට මුවාවු තවත් නීති විරෝධී වැඩක්

September 28, 2017   11:42 am

සංවර්ධනයට මුවාවී දැදුරු ඔයේ නීති විරෝධී ලෙස සිදුකෙරෙන වැලී කැණීමේ ජාවාරමක් පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

මෝය කට සංවර්ධනය කරන මුවාවෙන් දැදුරු ඔයේ සිදු කෙරෙන මහා පරිමාණ වැලි ජාවාරමක් පිළිබඳව අද දෙරණ උකුස්සාට රහසි ගත තොරතුරක් ලැබුණි.

ඒ අනුව ගවේෂණයක නිරත වූ උකුස්සාට දැකගත හැකි වුණේ මෝය කටේ සිට කිලෝමීටරයක් පමණ දැදුරු ඔය දෙසට වන්නට දැවැන්ත යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් පුද්ගලික ඉඩමකට පිරිසක් වැලි පොම්ප කරන ආකාරයයි.

රාත්‍රී කාලයේදී වැලි ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් පසුබිමක මෙලෙස පොම්ප කරනු ලබන වැලි රාත්‍රී කාලයේදී ටිපර් රථ යොදා ගනිමින් ප්‍රවාහනය කරන ආකාරය අපට මෙහිදී දක්නට ලැබුණි.

මේ පිළිබඳව උකුස්සා සිදු කළ සොයා බැලීමේදී ප්‍රදේශවාසීන් පැවසුවේ  ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකු සහ රටේ නම ගිය ප්‍රබල දේශපාලනඥයෙකුගේ පුත්‍රයෙකු විසින් මෙම ජාවාරම සිදුකරගෙන යන බවයි.

ඒ අනුව උකුස්සා මෙම ජාවාරම සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ අධිකාරයේ හලාවත සහකාර අධ්‍යක්ෂවරයගෙන් සිදු කළ විමසීමේදී ඇය මේ පිළිබඳව කිසිවක් නොදන්න බව සඳහන් කර සිටියේය.

හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කළ විමසීමේදී සඳහන් කළේ දැදුරු ඔය තුළ වැලි කැනීමක් සිදු කිරීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි.

මුදලට කෑදරවූ ඇතැම් දේශපාලනඥයින් සිදුකරනු ලබන මෙම ජාවාරමට බලධාරීන්ගේ ඇස යොමුවන තෙක් උකුස්සා සීරුවෙන්.