කොටුව-තලෙයිමන්නාරම දුම්රිය ගමන් සීමා කෙරේ

කොටුව-තලෙයිමන්නාරම දුම්රිය ගමන් සීමා කෙරේ

July 17, 2017   11:37 am



කොළඹ කොටුව සහ තලෙයිමන්නාරම අතර දුම්රිය මාර්ගයේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද සිට එම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරෙන බව දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ මහතා පවසයි.

මැදව්චිය සහ වෙඩ්ඩිකුලම් අතර පිහිටි පැරණි පාළමක් ඉවත් කර නව පාළමක් සකස් කිරීමට කටයුතු යොදා ඇති බැවින් අද (17) සිට 23 වනදා දක්වා එම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව විජය සමරසිංහ මහතා පැවසුවේය.

ඒ අනුව එම කාලය තුළ තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සහ මැදවච්චිය අතර පමණක් සිදු කිරීමට නියමිතය.

මගී ජනතාවගේ සුවපසුව සඳහා එම දිනවල මැදවච්චිය සිට තලෙයිමන්නාරම අතර ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලට අයත් බස් රථ සේවාවක් යෙදවීමට කටයුතු යොදා ඇති  බව දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ මහතා කියා සිටියේය.