පාර්ලිමේන්තුවේ පැත්තක් නෑ -  රතනහිමිගෙන් තීරණයක්

පාර්ලිමේන්තුවේ පැත්තක් නෑ - රතනහිමිගෙන් තීරණයක්

January 16, 2017   12:01 pm


තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරීමට තීරණය කළ බව පූජ්‍ය අතුරලියේ රතනහිමි පවසයි.

විපක්ෂයට එක්වීමට හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට එක්වීමට කැමැත්තක් නොදක්වන බව උන්වහන්සේ කියා සිටියේ අද(16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එසේ වුවද ජාතික ප්‍රශ්න හමුවේ බලපෑම් කළ හැකි පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟීමට තමන් දායකත්වය දක්වන බව රතනහිමියන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ආණ්ඩුව පෙරළන්නට තමන් තුළ අරමුණක් හෝ උත්සාහයක් නොමැති නමුත් ආණ්ඩුවේ වැරදි පෙන්වාදී එය නිවරදි මගට ගැනීමට තමන්ට අවශ්‍යතාවක් පවතින බව රතනහිමියන් මෙහිදී සඳහන් කළේය.

පොදු අපේක්ෂකයෙකු බලයට පත්කරමින් රටට සුබවාදී වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමේ අභිප්‍රාය පැවති බවත්, 2010 දී එකී උත්සාහය අසාර්ථකවී 2015දී මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්කර ගැනීමෙන් එකී අභිප්‍රාය ඉටුවූ නමුත් ජනවාරි 08 අරමුණු වෙනුවට මේවන විට වෙනත් අරමුණු ඉදිරියට පැමිණ තිබීම කනගාටුදායක බැව් උන්වහන්සේ කියා සිටියේය.

රටේ ඒකීයභාවයට හානි පමුණුවන ව්‍යවස්ථා කෙටුම්පතක් මේවන විට සකස්කර ඇති බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිවලට එය පටහැණි බවත්, මෙම ව්‍යවස්ථාවට කිසිසේත්ම එකඟවිය නොහැකි බවත්, ව්‍යවස්ථා කෙටුම්පත සකස් කර ඇත්තේ බෙදුම්වාදයට රුකුල්දෙන පිරිසක් විසින් බවත් රතනහිමියන් සඳහන් කළේය.

ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරනු ලැබුවද, විගණන කොමිෂන් සභාව හා ප්‍රසම්පාදන කොමිෂන් සභාව ස්ථාපිත කිරීමට තවමත් හැකියාවක් ලැබී නොමැති බව ද උන්වහන්සේ සිහිපත් කළේය.

යුද්ධය ජයග්‍රහණය කරනු ලැබුවද, උතුරේ ජනයා දිනාගත හැකි වැඩපිළිවෙළක් මේ රජයට වුවද නොමැති බවත්, ඒ සඳහා ජාතික වැඩසටහනක් අවශ්‍යව ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේය.

උතුරේ ජනයාට වගා කටයුතු සඳහා ඔවුන්ගේ ඉඩම් ලබාදිය යුතුව ඇති බවත්, ඒ සඳහා ඉඩම් කොමිෂන් සභාවක් ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසු බවත්, රතන හිමියන් අවධාරණය කළේය.