ප්‍රසන්නගේ අභියාචනා පෙත්සමේ විභාගය කල්තැබේ 

ප්‍රසන්නගේ අභියාචනා පෙත්සමේ විභාගය කල්තැබේ 

April 30, 2024   02:39 pm

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක විභාගය මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (30) නියම කළේය.

කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම ඇතුළු කටයුතු ඉටුකරදීම පිළිබඳ සිද්ධියකට අදාළව ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා එල්ලවූ රණතුංග මහතා ඉන් අත්හිටවූ සිරදඬුවම් හා දඩ මුදල් නියමවී සිටියි. 

මෙම අභියාචනා පෙත්සම විභාගකරන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු පී. කුමාරන් රත්නම් මහතා අද දින නඩු විභාගයට සහභාගි නොවීම හේතුවෙන් මෙම පෙත්සම් විභාගය කල්තැබීමට නියම කෙරුණි.

අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා ප්‍රමුඛ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලන් ඉදිරියේ මෙම පෙත්සම විභාගයට නියම කර තිබේ.

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩකිරීමට අදාළ කටයුතු ඉටුකරදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කිරිමේ සිද්ධියකට අදාළ චෝදනාවකට වරදකරු කෙරුණු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කොට එය වසර පහකට අත්හිටුවීමට තීන්දු කළේය.

ඊට අමතරව රුපියල් මිලියන 25ක දඩයක්ද අධිකරණය විසින් නියම කරනු ලැබීය.

කොළඹ මහාධිකරණය විසින් තමාට එරෙහිව එම දඩුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.