මට්ටක්කුලියේ වෙඩි තැබීමක් - 4ක් මරුට - 3ට තුවාලයි

මට්ටක්කුලියේ වෙඩි තැබීමක් - 4ක් මරුට - 3ට තුවාලයි

October 23, 2016   08:26 pm


මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

අද(23) රාත්‍රී 07.30ට පමණ අදාළ වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය ද බරපතළ බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මට්ටක්කුලිය - සමිත්පුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර කාලයක සිට පැවැති ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්ය.

ඝාතනයට ලක්ව ඇත්තේ ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙක් සහ ඔහුගේ සමීපතමයින් තිදෙනෙතු බව වාර්තා වෙයි.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී උණ්ඩ කිහිපයක් ද පොලීසිය විසින් සෙයාගෙන තිබේ.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මෙහි මූලික පරික්ෂණ මට්ටක්කුලිය පොලිසිය විසින් සිදු කළ අතර වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.