ඉන්දියාවට බලපෑම් වන ආකාරයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ නෑ

ඉන්දියාවට බලපෑම් වන ආකාරයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ නෑ

July 5, 2015   11:54 am



ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතාවට තර්ජනයක් වන ආකාරයේ කිසිවක් ශ්‍රී ලංකාව විසින් සිදුනොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඉන්දීය මාධ්‍යයක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සබඳතා හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාවලට තර්ජනයක් සිදුනොවන බවයි.

එමෙන්ම ඉන්දියාවට බලපෑම් වන ආකාරයෙන් වෙනත් රටක සහයෝගය ලබාගැනීමට ශ්‍රී ලංකාව  කටයුතු නොකරන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට ගෙන ඇති තීරණය පිළිබඳව  ද එම සම්මුඛ සාකච්ඡාවේ දී මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වා තිබේ.

මහ මැතිවරණයට නව සන්ධානයකින් තරග වැදීමට පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා පැවැත්වු බව පවසා ඇති මහින්ද රාජපක්ෂ මහතා කෙසේවෙතත් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තමාට නාමයෝජනා ලබාදීමට එකඟතාව පල වී ඇති බව ප්‍රකාශ කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය සමයේ මෙන්ම ඉන් පසුව ද තමා සමග සුහද සබඳතාවක් පවත්වාගෙන ගිය බවත්,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  දෙකඩ නොකිරීමට දෙදෙනාගේම අපේක්ෂාව වූ බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.