මම තරම් පක්ෂය වෙනුවෙන් කැපකිරීම් කරපු අය තවත් නෑ!

මම තරම් පක්ෂය වෙනුවෙන් කැපකිරීම් කරපු අය තවත් නෑ!

May 23, 2015   05:20 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තමා තරම් කැපකිරීම් කළ අයෙකු තවත් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේ අද පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් සම්මේලනයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

වෙනත් එවැනි අයෙක් සිටී නම් තමන්ට පවසන ලෙස ජනාධිපතිවරයා සියලු පාක්ෂිකයින්ගෙන් එහිදී ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය පක්ෂය බවත් එය බෙදා වෙන් කිරීමට කිසිවිටෙකත් තමන් කටයුතු නොකළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කළ බව සඳහන්ය.

එක්සත් ජාතික පක්ෂය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළමුව සන්ධානගත කරවූයේ තමන් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පක්ෂය වෙනුවෙන් තම යුතුකම් නොපිරිහෙලා ඉටු කරන බවයි.

රට දිනවීම මෙන්ම පක්ෂය දිනවීමේ වගකීමද මේ වන විට තමා වෙත පැවරී ඇති බව දිස්ත්‍රික් සම්මේලනය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.