ජගත් නියෝජිතවරයා විග්නේෂ්වරන් හමුවෙයි

ජගත් නියෝජිතවරයා විග්නේෂ්වරන් හමුවෙයි

March 2, 2015   05:23 pm



මෙරට සංචාරයක නිරතව සිටින ජගත් මහලේකම්වරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජිත ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා හමුවී තිබේ.

අද(02)  පෙරවරුවේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී මෙම හමුව සිදුව ඇති බව සඳහන්ය.

එම හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සී.වි.විග්නේෂ්වරන් මහතා සඳහන් කළේ පසුගියදා උතුරු පළාත් සභාවේ දී සම්මත කරගත් යෝජනාවේ පිටපතක් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතාට භාරදීමට පියවරගත් බවයි.
 
යුදමය වාතාවරණය පැවති සමයේ පීඩාවට පත්වු උතුරු පළාතේ දෙමළ ජනතාවගේ අභිලාශයන් ඉටුකිරීමේ අරමුණින් අදාළ යෝජනාව සම්මත කරගත් බවට විග්නේෂ්වරන් මහතා එක්සත් ජාතීන්ගේ නියෝජිතයා හමුවේ පැහැදිලි කර තිබේ.

ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වත්මන් රජය සැලකිය යුතු  අවධානයක් යොමුකර ඇති බව  උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එහිදි  සඳහන් කර ඇත.

මේ හේතුවෙන් රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පියවර ගන්නා බව සි.වී.විග්නේෂ්වරන් මහතා ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා සමග පැවති හමුවේ දී  ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.