රුසියානු - යුක්‍රේන යුද්ධයට ගොස් පැන ආ ශ්‍රී ලාංකිකයෙක් කරුණු රැසක් හෙළිකරයි

රුසියානු - යුක්‍රේන යුද්ධයට ගොස් පැන ආ ශ්‍රී ලාංකිකයෙක් කරුණු රැසක් හෙළිකරයි

May 9, 2024   09:29 pm

රුසියානු - යුක්‍රේන යුද්ධය සඳහා මෙරටින් නීතිවිරෝධී ලෙස ගොස් ඉන් පැන ආ ලාංකිකයින් දෙදෙනකු 'අද දෙරණ' සමග කරුණු රැසක් හෙළි කළේය.

එහිදී ඔවුන් පැවසුවේ යුද බිමේදී තුවාල සිදුවන සාමාජිකයින් ද යළි යුද බිමට යැවීමට තරම් ඔවුන් කුරිරු බවය. 

"අපේ ආර්ථික ගැටලු නිසා තමයි අපි ඒ වගේ තැනකට ගියේ. අපි දන්නේ නැහැ කිසිම දෙයක්. කැලයක් මැදට ගිහින් දැම්මා. යුද්ධයකටත් වැඩිය ඒක සියදිවි නසා ගැනීමක්. නැවත පැමිණීමක් නැහැ. යුක්‍රේන සොල්දාදුවෝ හදපු බංකර්වල තමයි අපි දවල් දවසේ ඉන්නේ. රෑට අපි ගමන් කරනවා. ඩ්‍රෝන ප්‍රහාරයක් වැදිලා කිලෝමීටර් එකහමාරක් විතර මම බඩගෑවා. ලංකාවෙදි භාවිතා කරපු යුද උපක්‍රම ශිල්ප සියල්ලම මම භාවිත කළා. අවසානයේ නැවත මම මගේ මව් රටට ආවා."

මේ අතර මිනිස් ජාවාරම්කරුවන් රුසියානු - යුක්‍රේන යුද්ධය සඳහා මෙරටින් නීතිවිරෝධී ලෙස යවන ලද 06 දෙනෙකු මියගොස් ඇතැයි විමර්ශන මගින් අනාවරණ කරගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා අද (09) පැවසීය.

2022 පෙබරවාරි 24 වනදා රුසියානු හමුදා යුක්‍රේන භූමිය ආක්‍රමණය කිරීමත් සමග රුසියානු යුක්‍රේන යුද්ධය ආරම්භ වුණි.

යුද්ධය කෙටි කලක් තුළ අවසන් කරන බවට රුසියාව විශ්වාසය පළ කළත් එය බලාපෙරොත්තු නොවන ආකාරයෙන් දිග්ගැස්සුණේ, දිනෙන් දින දහස් ගණනකට මරු කැඳවමිනි. 

දෙපාර්ශ්වයේ පිරිස් විශාල වශයෙන් මියයද්දී ඔවුන් යුද ජයග්‍රහණය වෙනුවෙන් විවිධ රටවලින් කුලී හේවායින් බඳවා ගත්තේය. 

එම යුද්දයට ලාංකිකයින්ද මැදිහත්ව ඇති බවට පළමුවරට වාර්තා වන්නේ, යුක්‍රේනය වෙනුවෙන් සටන් කළ කපිතාන් රනීෂ් හේවගේ රුසියානු ප්‍රහාර හමුවේ මියයාමත් සමගය.

එම පුවතත් සමග යුද්දයට මැදිවූ ලාංකිකයින් පිළිබඳ කරුණු අනාවරණ වන්නට පටන් ගත්තේය.