වසර 02ක් සපිරෙන මැයි 09 සිද්ධිය ගැන අද ඇසුණු කතාව

වසර 02ක් සපිරෙන මැයි 09 සිද්ධිය ගැන අද ඇසුණු කතාව

May 9, 2024   08:23 pm

මෙරට දේශපාලනයේ වෙනසකට හේතුවූ මැයි 9 වනදා භීෂණයට අදට (09) වසර දෙකක් සපිරෙයි.

2022 මැයි 9 වනදා දහවල් ගාලුමුවදොර අරගල භූමියට පහරදීමේ සිදුවීමක් මුල්කරගනිමින් එදින පස්වරුවේ ඇතැම් කණ්ඩායම් දිවයිනේ ස්ථාන රැසක ප්‍රචණ්ඩව කටයුතු කළේය.

ඒ අනුව, පොළොන්නරුව බලා යමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුවේදී අමානුෂික ලෙස පහරදී ඝාතනය කෙරුණේ එම කළහකාරී වාතාවරණය අතරතුරදීය.

ඒ අනුව හිටපු මන්ත්‍රීවරයාගේ ඝාතනයට දෙවසරක් සපිරීම සිහිකිරීමේ වැඩසටහනක් නිට්ටඹුව නගරයේදී පැවැත්වුණි.

මේ අතර අමරකීර්ති අතුකෝරාල මහතා සිහිකරමින් අද නාරාහේන්පිට අභයාරාමයේදී ද ආගමික වතාවත් සිදුකෙරුණි.

එමෙන්ම ප්‍රචණ්ඩ කණ්ඩායම් 2022 මැයි 09 වනදා ගිනි තබා හානි කෙරුණු බස් රථ සඳහා මේ දක්වා කිසිඳු වන්දියක් ලැබී නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ රජයෙන් යම් කිසි වන්දියක් නොලැබේ නම් සිවිල් නඩු ගොනු කරමින් අදාළ වැරදිකරුවන්ගෙන් වන්දි ලබා ගැනීමට හැකි බැවින් එලෙස ප්‍රචණ්ඩව කටයුතු කළ පිරිස හඳුනාගැනීමට පොලීසියේ සහාය අවශ්‍ය බවය.

මේ අතර අරගල භූමියට පහරදීමට වසර දෙකක් සම්පූර්ණ වීම පිළිබඳ අරගල ක්‍රියාකාරීන්ද අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.