ශ්‍රේෂ්ඨාධිකරණ මතය පිළිගන්න බෑ - රාජපක්ෂට දෙන්න එපා -කිසිදු අපේක්ෂකයෙක් සමග කොන්දේසි නෑ

ශ්‍රේෂ්ඨාධිකරණ මතය පිළිගන්න බෑ - රාජපක්ෂට දෙන්න එපා -කිසිදු අපේක්ෂකයෙක් සමග කොන්දේසි නෑ

November 24, 2014   02:32 pm

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන් පිළිනොගන්නා බව ජ.වි.පෙ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මෙතෙක් තිබුණු සම්ප‍්‍රදායන් නීති ඇතුළු බොහෝ දේ පසෙකලා තමන්ගේ අණසකට යටත්කරන ලද අධිකරණ පද්ධතියක් රාජපක්‍ෂ මහතා විසින් ගොඩනඟා ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද(24) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

දැන් ජනාධිපතිවරණයක් කැඳවා තිබෙනවා. මේ ජනාධිපතිවරණය ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී එකක් විදියටයි අපි සලකන්නේ. ව්‍යවස්ථාව අනුව රාජපක්‍ෂ මහතාට යළි කිසිදු දිනෙක ජනාධිපතිවරණයකට තරඟ කරන්න බැහැ. ඒ වගේම ඔහුගේ දෙවන ධුර කාලයට වසර 4ක් පිරුණු පසුව ජනාධිපතිවරණයක් කැඳවිය නොහැකි බවත් ව්‍යවස්ථානුකූලව පැහැදිලියි. නමුත් මහින්ද රාජපක්‍ෂ උපක‍්‍රමශීලීව, ඉතාම සටකපට ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතයක් ලබාගෙන තිබෙනවා. ඒ මතය කිසිසේත්ම අපි පිළිගන්නේ නැහැ.

අපි හඳුනාගන්නා ලෙස අපේ රට ප‍්‍රධාන අර්බුද 5ක ගිළී තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස පිළිබඳ ප‍්‍රශ්නය පළමුව මතුවී තිබෙනවා. දෙවනුව ආර්ථිකයේ මහා කඩාවැටීමක් මතුවී තිබෙනවා. ආර්ථිකයේ අත්පත්කරගන්නා ප‍්‍රතිලාභ ජනතාව අතරට සාධාරණව නොයෑමේ තත්ත්වයක් මතුවී තිබෙනවා. ඒ නිසා බොහෝ ජන කණ්ඩායම් අධ්‍යාපනයේදී, සෞඛ්‍යයේදී එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමේදී මහා විෂමතාවයකට ලක්ව තිබෙනවා. විශාල ජනතාවකගේ ජීවිත අර්බුදයකට ලක්ව තිබෙනවා. ඒ නිසා ආර්ථිකයේ සමානාත්මතාවය වෙනුවෙන් අපට මැදිහත්වීමට සිදුවී තිබෙනවා. සිව්වනුව අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජන කොට්ඨාස අතර සහජීවනය ගොනැගිය යුතුව තිබෙනවා.

විශාල වශයෙන් ඉහවහා ගිය වංචාව, දූෂණය පිටුදැක යහපාලනය උදෙසා වූ අරගලයක් සඳහා මැදිහත්විය යුතුව තිබෙනවා. අවසාන වශයෙන් ජාත්‍යන්තරව මහා හුදකලා තත්ත්වයකට පත්කර තිබෙන රට මුදවා ගත යුතුව තිබෙනවා. වෙනදාට වඩා ලෝකය සමීප වී තිබියදී ඒ සමීප ලෝකය ඇතුළේ අපේ මාතෘභූමිය හුදකලාවීමේ අනතුරකට ලක්ව තිබෙනවා. රාජපක්‍ෂ පාලනයේ දස වසරකට ආසන්න කාලය ඇතුළත පෙන්නුම් කරමින් තිබෙන්නේ අපේ රටේ ක්ෂේත්‍ර ගණනාවක් අර්බුදයකට ඇදදමා තිබෙන බවයි.

මෙය තනිකරම රාජපක්‍ෂ මහතාගේ දුබලකමක් ලෙස අපි සලකන්නේ නැහැ. රාජපක්‍ෂ පවුල් පාලනය, ඔවුන්ගේ ප‍්‍රතිපත්ති, ඔවුන් අනුගමනය කරමින් සිටින ක‍්‍රියාමාර්ග මෙම අර්බුදය තීව‍්‍ර කරන්න බලපා තිබෙනවා. මෙම අර්බුදයන්ගෙන් අපේ රටත් රටේ ජනතාවත් මුදවලා ඉදිරියට ගෙනයාමට නම් මේ තත්ත්වය මුළුමනින්ම පරිවර්තනය කිරීමේ කි‍්‍රයාමාර්ග අවශ්‍යයයි. ඒ පුළුල් සමාජ පරිවර්තනය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. පුළුල් සමාජ පරිවර්තනයක් සඳහා යන ගමනේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ එම ව්‍යූහයන් ශක්තිමත් කිරීමට සහ ප‍්‍රතිසංස්කරණ සඳහා කළ යුතු අරගලයකට අප මැදිහත්විය යුතුව තිබෙනවා. ඒ ගමනේදී වර්තමාන රාජපක්‍ෂ පාලනය කිසිසේත්ම එයට මැදිහත් නොවන බව තහවුරු වී අවසන්.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අටවා ගන්නා ආයතන පවා අද රාජපක්‍ෂ තම ගිලටීනයට හසුකරගෙන ඉවරයි. පාර්ලිමේන්තුව මුළුමනින්ම රාජපක්‍ෂගේ අණසකට යටත් කරනලද ආයතනයි. අධිකරණයෙන් ඉඩම් නඩුවක් විසඳීම වගේ සරල ප‍්‍රශ්නයකට සාධාරණ තීන්දුවක් ලබාගත හැකිවේවි. නමුත් දේශපාලනය සම්බන්ධයෙන් කිසිසේත්ම අවම හෝ සාධාරණයක් ලබාගත නොහැකියි. අගවිනිසුරුවරිය නෙරපා හැරීම, තවත් විනිසුරුවරුන් පත්කිරීම, ඇතුළු බොහෝ කටයුතුවලදී එතෙක් තිබුණු සම්ප‍්‍රදායන් නීති ඇතුළු බොහෝ දේ පසෙකලා තමන්ගේ අණසකට යටත්කරන ලද අධිකරණ පද්ධතියක් රාජපක්‍ෂ ගොඩනගා තිබෙනවා.

කව්රු ජනාධිපති වුවත් ඉක්මන් මැතිවරණයක් ඒමේ ඉඩකඩ තිබෙනවා. එහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කි‍්‍රයාකරන බලවේගයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න අවශ්‍යයයි. ජනාධිපතිවරණය සඳහා අපේ කි‍්‍රයාකාරිත්වය පාර්ලිමේන්තු මැතිවරණයත් ඉලක්ක කරගත් අඛණ්ඩ ක‍්‍රියාකාරිත්වයක්. මෙය හුදු ජනාධිපතිවරණයක් ලෙස නොසළකා ඡන්දපොළේදී කතිරය ගසා අවසන් කරන දෙයක් වෙනුවට පුළුල් ජනතා කි‍්‍රයාකාරිත්වයක් සඳහා ශක්තිමත් පෙරමුණක් ගොඩනගනවා. දෙවනුව පුළුල් සමාජ ආර්ථික පරිවර්තනයක් සඳහා යන පියවරකට ඔසවා තැබීමට ජනතා විමුක්ති පෙරමුණ සැළසුම් සකස්කර අවසන්. එය කි‍්‍රයාත්මක කිරීම ඉදිරි දින කිිහිපය තුළ සිදුකරනවා. ඒකාධිපති ගමනක් කරා යන මේ පාලනය පළවා හැර ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ඉඩකඩ පුළුල්කර ගැනීමට උපරිම කි‍්‍රයාමාර්ග මේ ජනාධිපතිවරණයේදී අපි ගන්නවා.“



මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජ.වි.පෙ නායකයා මෙසේද සඳහන් කළේය.

1978 මේ විධායක ජනාධිපතිධුරය නිර්මාණය කළදා සිට එයට එරෙහිව ප‍්‍රබලම මතයක වගේම කි‍්‍රයාකාරිත්වයක අපි අඛණ්ඩව නියැළී සිටියා. 1982 පළමු ජනාධිපති මැතිවරණය කැඳවීමේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල්කර ගැනීම සඳහා වූ ක‍්‍රියාකාරිත්වයක අප සිටියා. ඒ වගේම අප පක්‍ෂය තහනම් කර තිබියදීත් ඒ කි‍්‍රයාකාරිත්වය ඉදිරියට ගෙන ගියා. ඒ වගේම 1994දී ඉතාමත්ම අසීරු තත්ත්වයන් තුළ සකී‍්‍රය දේශපාලනයට පිවිසෙමින් චන්දි‍්‍රකා මැතිණිය සමඟ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ එකඟත්වයකට පැමිණියා. 2005දී මහින්ද රාජපක්‍ෂ මහතා සමඟත් එවැනිම එකඟතාවයකට පැමිණියා. 2010 දීත් අප කි‍්‍රයාකළේ විධායක ජනාධිපතිධුරය අහෝසි කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කිරීමටයි. දැන් ඇතිවී තිබෙන ප‍්‍රශ්නය තමයි හැම මැතිවරණයකදීම දුන් පොරොන්දු කඩ කිරීමෙන් ඇතිවූ තත්ත්වය. ඒ නිසාම තමයි අපි කියන්නේ මැතිවරණ ව්‍යාපාරයේ වේදිකාවේ කරන කථාවෙන් ඔබ්බට ගිය කි‍්‍රයාකාරිත්වයක් අවශ්‍ය බව. ඡුන්දය දීලා ජනතාව නරඹන්නෝ බවට පත්වීම වළක්වා, සක‍්‍රීය කි‍්‍රයාකාරිත්වයකට ජනතාව පෙළගැස්වීම අපේ අරමුණයි. හැමදාම සිදුවුණු ඡන්දය දී බලා ඉඳීමේ කි‍්‍රයාකාරිත්වය බිඳ දැමීමට අපි කි‍්‍රයාකරනවා. ඒ හැර කිසිදු අපේක්‍ෂකයෙකු සමඟ කොන්දේසියක් අපිට නැහැ.

නිදහසේ පියාඹන්න ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරුන්ට ඉඩ දුන්නොත් රාජපක්‍ෂත් ඒ වටා සිටින කුඩා කල්ලියකුත් හැර වෙන කිසිවෙකුත් ඉතිරි වෙන්නේ නැහැ. අරලිය ගහමන්දිරයේ සිටි මැකෝ ගිරවා පියාඹා ගියා වගේ සියලූම දෙනා පියාඹා යනවා. රාජපක්‍ෂ ජනාධිපතිවරයා කරන ප‍්‍රකාශ අනුව ඔහු ජනාධිපතිවරයෙක්ද යන්නත් අපට සැකයි. ”මා ගාව ෆයිල් තියෙනවා. හැබැයි ඒ ගියපු අයට විරුද්ධව ඒ ෆයිල් ගන්නේ නැහැ.” කියලා ඔහු කියනවා. හොරකම් කරපු බව දන්නවා. ඒ බව ඔප්පු කරන්න බඩු තිබෙනවා.ඒවා මම පුරවාගෙන ඉන්නවා. හැබැයි මම ඒවා එළියට ගන්නේ නැහැ. ගියපු අය වගේම ඉන්න අයගේ ෆයිලූත් තියෙනවා.” මේකයි මේ කියන්නේ. මහ හොරාගේ ලක්‍ෂණය තමයි අනෙක් හොරු රකින එක. ප‍්‍රධාන හොරා ලොකු පංගුව ගන්න අතර අනෙක් හොරුන්ට කුඩා පංගුවක් නොදී සොරමුලකට රැකෙන්න බැහැ. අඩුම තරමින් අපේ රටේ තිබුණු හොරෙන් හොරකම් කිරීමේ ක‍්‍රමය පවා රාජපක්‍ෂ පාලනය උල්ලංඝණය කර තිබෙනවා. යුද්ධය අවසන් වෙලා පාර්ලිමේන්තු පිට්ටනියේ තිබුණු රැස්වීමේදී රාජපක්‍ෂ මහත්තයා කිව්වේ මගේ පළවෙනි පියවර යුද්ධය අවසන් කිරීම දෙවැනි පියවර වංචා දූෂණ අහෝසි කිරීම කියලා. හැබැයි අද ඔහු මොකක්ද කියන්නේ? ගියපු අයගේ ෆයිල් මගේ ළඟ තියෙනවා හැබැයි මම ඒවා ගන්නෑ කියනවා. අපිට අහන්න තියෙන්නේ ඒවා තියාගෙන ඉන්නේ බම්බු ගහන්නද කියලා. මේ තරම් විකෘති මානසිකත්වයක් තියෙන පාලකයෙක් ඉතිහාසයේ බිහිවෙලා නැහැ කියලයි අපිට කියන්න තියෙන්නේ.

අපේ ස්ථාවරය හරිම පැහැදිළියි. ජනතාවට ප‍්‍රශ්නයක් වෙන එකකුත් නැහැ. ”ඒකාධිපති වියරුව පරදවමු. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසෙමු!” අපේ මේ ස්ථාවරය සාම්ප‍්‍රදායික පෙළගැස්මෙන් ඔබ්බට ගිය එකක්. මේ දක්වා කළේ කවුරුන් හෝ පාලකයෙක් පළවා හරින්න ඡන්දය ප‍්‍රකාශ කිරීම විතරයි. අපේ මේ ස්ථාවරය හරිම පැහැදිළිව කියලා තියෙනවා. ඒකාධිපති වියරුව පැරදවීමෙන් පමණක් නොනැවතී ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසීමත් අපේ අරමුණක්. අපි වැඩ කරන්නේ ඒ අරමුණ ජයග‍්‍රහණය කිරීම වෙනුවෙන්. මහින්ද රාජපක්‍ෂට ඡන්දය දෙන්න එපා කියන එක අපි නිශ්චිතව කියනවා. ඒක කොහේවත් සඟවලා නැහැ. ඒකාධිපති වියරුව පරදවමු කියලා කියන්නේ රාජපක්‍ෂට දෙන්න එපා කියන එකයි. සරළ වශයෙන්ම කියනවා නම් රාජපක්‍ෂ හැර තමන් තෝරා ගන්නා කෙනෙකුට කතිරය ගහන්න කියන එකයි අපි කියන්නේ. හැබැයි එතැනින් නතර වෙන්න එපා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් පෙළගැහෙන්න කියල කියන එකත් ඒවගේම ප‍්‍රබලයි. මෙම මාධ්‍ය හමුවට ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් , ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඞී. ලාල් කාන්ත මහතාද එක්වූහ.