ජාතික හෙළ උරුමයේ යෝජනා කොයිබටද?

ජාතික හෙළ උරුමයේ යෝජනා කොයිබටද?

October 20, 2014   03:39 pm

ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි ‘පිවිතුරු හෙටක් ජාතික සභාව‘වෙනුවෙන් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ප්‍රකාශයට පත්කොට සතියක් හෝ ඉක්ම යන්නට මත්තෙන් ජාතික හෙළ උරුමයේ 11 මහ සමුළුව පවත්වන ලදී.

ව්‍යවස්ථා සංශෝධනයක් නොකොට හදිසි ජනාධිපතිවරණයකට යනු ලැබුවහොත් ඊට එරෙහිව ජනතාව පෙළගස්වන බවත්,නැකත්කාරයන්ගේ හෝ කේන්දර කාරයන්ගේ උවමනාවට ජනාධිපතිවරණ පවත්වන්නට ඉඩදිය යුතු නැති බවද අතුරලියේ රතන හිමියන් ඉකුත් 15 වන දින මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

රාජ්‍ය ආයතන සියල්ල පාඩු ලබන බවත්, පාලකයින් කල්පනා කරන්නේ තමන්ගේ පවුල හා ධනය ගැන පමණක් බවත් අවධාරණය කළ රතන හිමියන් ජනාධිපතිවරයාට ආඥාදායක බලයක් හිමිකරදුන් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පාර්ලිමේන්තුවේ අත එසවීම පිළිබඳව පසුතැවිලි වන බවත් පෙන්වාදුන්නේය.

රතනහිමියන්ගේ මැදිහත්වීම පිළිබඳ දේශපාලන ලෝකයේ විවිධ මතිමතාන්තර පළවෙද්දී යහපාලනයක් සඳහා කළ යුතු යෝජනා 7න් යුතු යෝජනාවලියක් සහිතව ජාතික හෙළ උරුමයේ මහ සමුළුව පවත්වන ලදී.

වත්මන් ආණ්ඩුව විසින් හිමිකර ගනු ලැබූ තුනෙන් දෙකක බලයෙන් ජනතාවට සෙතක් අත් නොවුණු බව ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සමුළුවේදී ප්‍රකාශ කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයට තුනෙන් දෙකක බලය ස්ථාවර කරමින් අද දවසේද ජාතික හෙළ උරුමය, එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය නියෝජනය කරන අතරවාරයේම රජයට එරෙහිව යෝජනා ඉදිරිපත් කරමින් සිටීම වටහා ගත යුත්තේ කෙසේද?

කෙසේ වෙතත් මේ ඔවුන්ගේ යෝජනාවන් ඇතුළත් ප්‍රකාශයයි.



------------------------------ භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා යන සිව් වණක් පිරිස ජාතික හෙළ උරුමය වටා ගොනු වූයේ රට දැය සමය සුරකින්නටය. ඒ අරමුණ ඉටු කරමින් පසුගිය දස වසර තුළ දැවැන්ත ජයග්‍රහණ අත්කර ගැනීමට අපට හැකි විය. ත්‍රස්තවාදි කොටි සංවිධානය පරාජය කළ නොහැකි බවට අතිශය බහුතරයක් විශ්වාස කරන සමයක “කොටි ත්‍රස්තවාදය පරාජය කළ හැකිය - පරාජය කළ යුතුය“ යන මතය සමාජ ගත කර මාවිල් ආරු සොරොව්ව දක්වා ගමන් කළ පා ගමනකින් එය යථාර්ථයක් බවට පත් කළේ අපයි. ශ්‍රී ලංකාව සන්ධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යයක් බවට පෙරළීමට එජාප සහ ශ්‍රීලනිප නායකයින් එකිනෙකා අතර තරගයක යෙදුණු සමයක ඒකීය රාජ්‍ය සුරැකීමට පුරෝගාමි මෙහෙවරක් කළේද ද අපයි. මැතිවරණ වලදී සුළු ජන දේශපාලන පක්ෂ විසින් ඡන්ද කුට්ටි වෙන්දේසි කරමින් රජුන් තනන්නන් ලෙස වැජඹුණු යුගයට තිත තබා දේශප්‍රේමි බලවේග රජුන් තනන්නන් බවට පත් කෙළ් ද අපයි.

පසුබෑම්

ජාතියට දැවැන්ත ජයග්‍රහණ අත් කර දීමට අප සමත් වුවත් රට දැය සමයට හානිකර සමහර ක්‍රියා වැළැක්වීමට අප සමත් නොවුණු බව අවංක දේශප්‍රේමින් ලෙස අප සඳහන් කළ යුතුමය. වසර 2004 දී අප විසින් ගෙන ආ බලහත්කාරයෙන් ආගම් මාරු කිරීම තහනම් කිරීමේ පනත සම්මත කර ගැනීමට අපට නොහැකි විය. ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයින් ද සමහර භික්ෂුන් වහන්සේලා ද බෞද්ධ විරෝධි බලවේග ද ගත් විවිධ ක්‍රියාමාර්ග ඊට හේතු විය. එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්හි ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වුවද එම දෙපළාතෙන් පළවා හරින ලද සිංහලයින් යළි පදිංචි කිරීමට ආණ්ඩුවට නිසි වැඩපිළිවෙලක් නොමැති වීම පිළිබඳ අප සිටින්නේ කලකිරීමෙනි.

පළාත් සභා ක්‍රමය අහෝසි නොකරන්නේ නම් අවම වශයෙන් උතුරු පළාත් සභාව පිහිටුවීමට පෙර රටේ භෞමික අඛණ්ඩත්වයට තර්ජනයක් වන වගන්ති ඉවත් කරන මෙන් අපි බල කළෙමු. නමුත් එම ඉල්ලීම් නොතකා හැරීමෙන් දෙමළ ඊළම කරා උතුරු පළාත් සභාව ගමන් කිරීමේ අවදානමක් දැන් මතු වී තිබේ. ජාත්‍යන්තර පූර්වාදර්ශ අනුව යමින් කොටි ත්‍රස්තවාදින්ගේ දේශපාලන අංශය වූ දෙමළ ජාතික සංධානය තහනම් කරන ලෙස අපි ඉල්ලා සිටියෙමු. නමුත් ඒ වෙනුවට සිදු වූයේ දිවි පුදා දිනා ගත් උතුරු පළාතේ පාලනය නැවත කොටි සංවිධානයේ දේශපාලන අංශයට පැවරීමයි.

පදනම් විරහිත යුද අපරාධ චෝදනා නගමින් බටහිර රටවල් ශ්‍රී ලංකාව වටලෑමට වෙර දරන පසුබිමක විධිමත් ප්‍රතිපත්ති සහ උපාය මාර්ග වලින් තොරව රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාදාමය මෙහෙයවීමෙන් අපේ මව්බිම දැවැන්ත අනතුරක් වෙත ගමන් කරමින් තිබේ. යුද අපරාධ විමර්ශනයට කොමිසමක් පත් කිරීමෙන් ද විදේශික උපදේශකයින් පත් කිරීමෙන් ද දේශප්‍රේමි මතවාදයන්ට මරු පහරක් එල්ල කර විදේශීය වටලෑම සාධාරණීකරණය කර තිබේ. වංචා දූෂණ වැළැක්වීමට පියවර නොගැනීම, දුරාචාරය දිරිමත් කිරීම සහ නිසි ආර්ථික ක්‍රමෝපායක් නොතිබීම පිළිබඳ උගත් සමාජයෙන් ආණ්ඩුවට බරපතළ විවේචනයක් එල්ල වී තිබේ. රට තුළ පොදු නීතියක් ක්‍රියාත්මක කරනු වෙනුවට ජනවාර්ගික කල්ලි පිනවනු වස් ෂරියා සහ තේසවලාමේ නීති යටතේ ආහාර, ඉඩම් සහ බැංකු පාලනය කිරීමට අවස්ථාව දීමෙන් නව සමාජ බෙදුම්වාදයක් මතු වී ඇත.

එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුව 2005 සිට 2010 දක්වා වූ කාලය තුළ ලබා ගත් ජයග්‍රහණ පිළිබඳ අප තෘප්තිමත් නමුත් ඉන්පසු කාලය පිළිබඳ අපට ඇත්තේ දැඩි කලකිරීමකි. මෙතැන් සිට රට ඉදිරියට ගෙන යෑමට දැවැන්ත ප්‍රතිපත්තිමය පෙරළියක් අවශ්‍යය බව අපේ විශ්වාසයයි. දිනූ ජය රැක ගනිමින් ජාතියට නව ජයග්‍රහණ ගෙන එන නැවුම් ගමනක් ඇරඹීමට දැන් කාලය එළැඹ තිබේ.



1. ‍දේශපාලන ප්‍රතිසංස්කරණ

1.1. ජනාධිපතිවරයාට දැරිය හැකි ඇමති ධූර ව්‍යවස්ථාවෙන් නිශ්චිතව හඳුනා ගත යුතුය.

1.2. අවමය 20ක් ද උපරිමය 25ක් ද වන ඇමති මණ්ඩලයක් පත් කළ යුතු අතර විද්‍යාත්මක ක්‍රමවේදයකට ඇමතිවරුන් අතර විෂයන් බෙදිය යුතුය. උපරිම නියෝජ්‍ය ඇමතිවරු ගණන 35ක් විය යුතුය.

1.3. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන අධිකරණයට යටත් ධූරයක් බවට පත් කළ යුතුය.

1.4. සියළුම මැතිවරණ සඳහා කොට්ඨාස සහ සමානුපාත ක්‍රමයේ මිශ්‍රණයකින් යුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතුය.

1.5.සෑම දේශපාලන පක්ෂයක්ම තමන්ට වෙන් වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර වලින් තුනෙන් එකක් වෘත්තීය කාන්තාවන්ට වෙන් කළ යුතුය.

1.6.පොලිස් සහ ඉඩම් බලතල ඇතුළු පළාත් සභා ක්‍රමය තුළ ඇති භෞමික අඛණ්ඩතාවයට හානිකර විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුය.

1.7. ගමට බලය ලබා දෙන ජන සභා ක්‍රමය බලාත්මක කළ යුතුය.



2. රාජ්‍ය පාලනය

2.1.අමාත්‍යංශ ලේකම්වරුන් ලෙස පත් කළ යුත්තේ රජයේ නිළධාරින් හෝ අමාත්‍යංශයට අදාළ ක්ෂේත්‍රයේ වෘත්තිකයින් පමණි.

2.2.රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය සහ දාසභාවය දුරැළීම සඳහා කුසලතාවය මත උසස්වීම් ඇතුළු වරප්‍රසාද ලැබෙන නව ඇගයීම් ක්‍රමයක් හඳුන්වා දිය යුතුය.

2.3.ව්‍යාපෘති අතර ගැටුම් ඇති නොවන අයුරින් තිරසර සංවර්ධනයක් ඇති කිරීම සඳහා ආණ්ඩුවේ ප්‍රතිපත්තින්ට අනුව සංවර්ධන ප්‍රමුඛතා හඳුනාගෙන ජාතික සැලසුම් සකස් කිරීමට ජාතික සැලසුම් කොමිසමක් ස්ථාපිත කළ යුතුය.

2.4.රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමට ඇමති මණ්ඩලයට උපදෙස් ලබා දීම සඳහා විද්වතුන්, ව්‍යාපාරිකයින්, වෘත්තීයවේදින්, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන නියෝජිතයින්ගෙන් සමන්විත මහජන උපදේශක සභාවක් පත් කළ යුතුය.

2.5.විදේශ සේවයේ නොවන රාජ්‍ය තාන්ත්‍රික පත්වීම් සමස්ත විදේශ සේවයෙන් 35%ක් නොඉක්මවිය යුතු අතර එම පත්වීම් සඳහා ද නිශ්චිත නිර්ණායක තිබිය යුතුය.

2.6.ආහාර, ඖෂධ, රූපලාවන්යි ඇතුළු පාරිභෝගික භාණ්ඩ සහ සේවා නියාමනය කිරීමට අවශ්‍යයම තාක්ෂණය, දැනුම සහ නීතිමය බලය ලැබෙන අයුරින් පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සවිමත් කළ යුතුය.



3. නීතිය සහ අධිකරණය

3.1. විවිධ ප්‍රදේශ සහ ජනවර්ග පදනම් කරගත් නීති පද්ධති අහෝසි කර සමස්ත ලංකාවටම එක් නීති පද්ධතියක් ස්ථාපිත කළ යුතුය.

3.2. සියළු අධිකරණ ස්වාධීන විය යුතු අතර පළපුරුද්ද සහ කුසලතාවය මත අධිකරණ පත්වීම් සිදුකළ යුතුය.

3.3. ඕනෑම පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ජනපතිට ඇති බලය අහෝසි කර ඒ පිළිබඳ නිශ්චිත නිර්ණායක සැකසිය යුතුය.



4. යහ පාලනය

4.1. සකල විධ දූෂණ මැඩීම සඳහා තාක්ෂණ, කළමනාකරණ සහ මූල්‍ය විගණන හැකියාවෙන් යුත් විගණන කොමිසමක් ස්ථාපිත කළ යුතුය.

4.2. ස්වාධීනව සිය විමර්ශන කළ හැකි අයුරින් මූල්‍ය සහ මානව සම්පත් මෙන්ම බලතල ද සතු දූෂණ මර්දන කොමිසමක් ස්ථාපිත කළ යුතුය.

4.3. අපේක්ෂකයින්ගේ අරමුදල් රැස් කිරීම, අරමුදල් වියදම් කිරීම, ප්‍රචාරණ උපක්‍රම පාලනය කිරීමට බලතල ඇති ස්වාධීන මැතිවරණ කොමිසමක් ස්ථාපිත කළ යුතුය. මෙම කොමිසමට රාජ්‍ය දේපළ අපහරණය වැළැක්වීමට මෙන්ම සියළුම මාධ්‍ය ආයතන නියාමනය කිරීමට ද මැතිවරණ සමයේ පොලීසිය මෙහෙයවීමට ද බලතල තිබිය යුතුය.

4.4. ජාතික ආරක්ෂාව සුරක්ෂිත වීමට යටත්ව රාජ්‍ය පාලනය පිළිබඳ තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය නීතියෙන් තහවුරු කළ යුතුය.



5. බුද්ධ ශාසනය, ආගමික කටයුතු සහ සදාචාරය

5.1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තියේ දැක්වෙන බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීම සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම විස්තර කරන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

5.2. බුද්ධ ශාසන අමාත්‍යංශය සෘජුවම ජනාධිපතිවරයා යටතේ පාලනය විය යුතුය.

5.3. පුරා විද්‍යා බිම් සහ විහාර සහ දේවාලගම් පනත යටතේ පාලනය වන ආගමික ආයතන සංරක්ෂණය කර සංවර්ධනය කිරීම සඳහා විශේෂ අරමුදලක් පිහිටුවිය යුතුය.

5.4. බුද්ධ ශාසනය ප්‍රමුඛව සියළුම ආගමික ගැටළු විසඳීම සහ ආගමික සහජීවනය සඳහා උත්තරීතර ආගමික මණ්ඩලයක් ස්ථාපිත කළ යුතුය.

5.5. මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදිකරුවන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු අතර එවැනි වැරදිකරුවන්ගේ නම් ප්‍රසිද්ධ කළ යුතුය.



6. සිංහල උරුමය

6.1. සිංහල ජනයා පලවා හරින ලද යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, මඩකළපුව හා ත්‍රීකුණාමලය දිසාවන්හි 1971 ජන සංගණනයේ පැවති ජන අනුපාතයට අනුව අවතැන් වූවන් යළි පදිංචි කළ යුතුය. 6.2. ජනමාධ්‍යයන්හි ජාතික භාෂා හැසිරවීම නියාමනය කිරීම සඳහා ආයතනයක් ස්ථාපිත කළ යුතුය.



7. ආර්ථික සංවර්ධනය

7.1. සංවර්ධන සැලසුම් ගෝලීය පරිසර අර්බූද වලට මුහුණ දිය හැකි තිරසර සංවර්ධන උපායන් මත පදනම් විය යුතුය.

7.2. සාමාන්‍ය ජනතාවගේ ආදායම් වැඩි කරන උගත් විරැකියාව නැති කරන ඇති නැති පරතරය තුනී කරන සාදාචාර නිෂ්පාදනයන්ට සමාජය යොමු කරන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් දියත් කළ යුතුය.

7.3. උචිත පරිදි ආනයන ආදේශක නිෂ්පාදනය ඉහළ නංවමින් ද අනවශ්‍ය ආනයන අධෛර්යමත් කරමින් ද ආනයන වියදම පාලනය කළ යුතුය.

7.4. අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා නව උත්පාදන සහ තාක්ෂණ සේවා යොදා ගත යුතුය.

7.5. ණය වාරික සහ පොලී රාජ්‍ය ආදායමට දැරිය හැකි මට්ටමට පහත වැටෙන අයුරින් ණය කළමනාකරණය කළ යුතුය.

7.6. මත්පැන්, කැසිනෝවැනි සූදු සහ ගණිකා වෘත්තිය වැනි දුරාචාරාත්මක ආර්ථික ක්‍රියා තහනම් කළ යුතුය.

7.7. නව තාක්ෂණ ප්‍රවණතා වන නැනෝ තාක්ෂණය, ක්වන්ටම් තාක්ෂණය, ජීව තාක්ෂණය, ජාන තාක්ෂණය, අභ්‍යවකාශ තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය සහිත නව කාර්මික විප්ලවයක් කරා රට ගෙන යන දැනුම් ආර්ථිකයක් ස්ථාපිත කළ යුතුය.