ගැටලු විසඳනවා - වර්ජනය අතහරින්න

ගැටලු විසඳනවා - වර්ජනය අතහරින්න

August 28, 2014   04:01 pm

වෘත්තිය සමිති විසින් ඉදිරිපත් කර ඇති සියලු ඉල්ලීම්වලට අදාළ පියවර ගනිමින් සිටින බැවින් වර්ජන ක්‍රියාමාර්ගය අත්හරින ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පරිපුරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් අමාත්‍යංශයට ගත හැකි සෑම පියවරක්ම මේ වන විට ගෙන ඇති බවයි.

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ඉල්ලීම් 06 සම්බන්ධයෙන් තමා අවස්ථා කිහිපයක දී අමාත්‍යංශ නිලධාරින් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පවසයි.

ඉන් ඉල්ලීම් 03 ක් මෙ වන විට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තුළ සාකච්ඡාවට බදුන් වෙමින් පවතින අතර ඒ සඳහා මසක් ඇතුළත සුභවාදී තීරණයක් ලබා දිය හැකි බව අමාත්‍යවරයා කියයි.

සෙසු ඉල්ලීම් ප්‍රතිපත්තිමය වශයෙන් ගත යුතු තීරණ බැවින් රාජ්‍ය සේවයේ අනිකුත් සේවාවන් සමග ගැටුම් ඇති නොවන පරිදි එම තීරණ ගැනීම සඳහා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු බව මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පෙන්වාදෙයි.

ඉල්ලීම් 06 ක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය පෙරේදා උදෑසන සිට ආරම්භ කළ වැඩ වර්ජනයේ තෙවන දිනය අද වේ.