ශ්‍රී ලංකාව ගැන විමර්ශනයට එන්න වීසා දිය යුතුයි

ශ්‍රී ලංකාව ගැන විමර්ශනයට එන්න වීසා දිය යුතුයි

July 25, 2014   10:09 am

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පත් කර ඇති එක්සත් ජාතින්ගේ කමිටුවට ඉන්දියාවට පැමිණීම සඳහා වීසා ලබා දිය යුතු බවට තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත ලිපියක් යොමු කරමින් ඇය මෙම ඉල්ලීම සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.

එක්සත් ජාතීන්ගේ කමිටුවට ඉන්දියාවට පැමිණීමට විසා ලබාදීම ඉන්දිය රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ තමා පුදුමයට පත්වූ බව ජයලලිතා ජයරාම් ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය රජය එවැනි තීරණයක් ගෙන ඇත්තේ නම් එය දෙමළ ජනතාව නොසළකා හැරීමක් ලෙස සැලකිය හැකි බව ඇය සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

මේ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ කමිටුවට ඉන්දියාවට පැමිණ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් විමර්ශනය සිදුකිරීමට අවස්ථාව ලබාදෙන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරිය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියෙන් ඉල්ලා තිබේ.