ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් ‍වෙනස් නොවෙයි- පැකැට්ටුවේ 60% අනිවාර්යයි

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් ‍වෙනස් නොවෙයි- පැකැට්ටුවේ 60% අනිවාර්යයි

July 11, 2014   02:12 pm

2015 ජනවාරී 1 වැනිදා සිට දුම්වැටි ඇසුරුම් වෙළඳපොළට නිකුත් කරන්නේ නම් ඒවායේ සියයට 60ක් ප්‍රමාණයට රූපමය අවවාද තිබිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) ලංකා දුම්කොළ සමාගමට නියෝගයක් නිකුත් කර තිබේ.

අගවිනිසුරු මොහාන් පීරිස්, රෝහිණී මාරසිංහ හා සිසිර ද ආබෲ යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී ඇත.

ලංකා දුම්කොළ සමාගම මෙම රූපමය අවවාදය පළකිරීමට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසුව මෙම නියෝගය ලබාදී තිබේ.

දුම්වැටි ඇසුරුම්වල සියයට 50 - 60ක පමණ කොටසක රූපමය අවවාද ඇතුළත් කිරීමට අභියාචානාධිකරණය ද පසුගිය මැයි මස 12දා අවසර ලබා දී තිබුණි.

කෙසේ වුවද එම තීන්දුවට එරෙහිව දුම්කොළ සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මෙම මූලික ‍අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණ.

මේ අතර රූපමය අවවාද සහිත දුම්වැටි ඇසුරුම් කඩිනමින් වෙළෙඳපළට බෙදාහැරීමේ අපහසුතාවක් පවතින බවට දුම්වැටි බෙදාහරින්නන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද අද සලකා බැලිණ.

වෙළෙඳපළේ ඇති රූපමය අවවාද රහිත දුම්වැටි ඇසුරුම් සියල්ලම ලබන වසරේ පෙබරවාරි පළමු වනදා වන විට ඉවත් කරගන්නා බවට දුම්වැටි බෙදාහරින්නන් එහිදී එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව දුම්වැටි බෙදාහරින්නන් විසින් ඉදිරිපත් කළ පෙත්සම අද දිනයේ නිෂ්ප්‍රභා කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.