මොරිසන් ගණන් නොගත්තාට ද්‍රවිඩ සන්ධානයේ හිතට අමාරුයි

මොරිසන් ගණන් නොගත්තාට ද්‍රවිඩ සන්ධානයේ හිතට අමාරුයි

July 10, 2014   10:59 am

ඔස්ට්‍රේලියානු ආගමන හා දේශසීමා ආරක්ෂණ අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා ශ්‍රී ලංකාවට පැමිණ ආණ්ඩුවේ ප්‍රධානීන් පමණක් හමුවීම පිළිබඳ තම අප්‍රසාදය පළකරන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මහලේකම් මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

ඔහු තම පක්ෂයේ නියෝජිතයින්ද හමුවී සාකච්ඡා කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වුවද එකී බලාපොරොත්තු සුන්වූ බව සේනාධිරාජා මහතා අද දෙරණට කියා සිටියේය.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයින් ඔස්ට්‍රේලියානු සංචාරයක නිරතවූ අවස්ථාවේදී එරට රජයේ නියෝජිතයින් සමග කතා බහ කළ බවත්, ඔවුන්ගෙන් අයෙකු ශ්‍රී ලංකාවට පැමිණියහොත් ද්‍රවිඩ ජාතික නියෝජිතයින්ද හමුවන බවට එදින පොරොන්දුවක් ලබාදුන් බවත් සේනාධිරාජා මහතා සිහිපත් කළේය.

දෙදිනක කාලයක් මෙරට රැඳී සිටි ඔස්ට්‍රේලියානු ආගමන හා දේශසීමා ආරක්ෂණ අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා මේවන විට දිවයිනෙන් පිටත්ව ඇතත් ඔහු තමන් හමුනොවී සැබෑ ගැටළු පිළිබඳ සාකච්ඡා නොකිරීම පිළිබඳ ඔස්ට්‍රේලියානු රජයට ලිඛිතව තම අප්‍රසාදය පළ කිරීමටත්, මෙරට ඔස්ට්‍රේලියානු තානාපතිවරිය වන රොබින් මර්ඩි දැනුවත් කිරීමටත් පියවර ගන්නා බවද මහලේකම්වරයා සඳහන් කළේය.

ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් එරටට පැමිණි ද්‍රවිඩ සරණාගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් ආපසු හරවා යැවීමට ගත් ක්‍රියාමාර්ගය පිළිබද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කාර්යාලයත්, එක්සත් ජනපදයත් ස්වකීය අප්‍රසාදය පළකර තිබුණි.

එසේම ශ්‍රී ලාංකිකයින් 153 දෙනෙකු පිටුවහල් කිරීම වළක්වාලමින් ඔස්ට්‍රේලියානු මහාධිකරණය ලබාදුන් වාරණය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ප්‍රකාශිකා රවීනා ශාම්දාසනා ප්‍රකාශ කර ඇත.

මේ අතර තම දරුවන් ඔස්ට්‍රේලියාවේ පදිංචි කළ හැකි බව කියමින් මව්වරුන් 7 දෙනෙකු පමණ ඉකුත් දින කිහිපයේදී සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව විදෙස් වාර්තා අනාවරණය කරයි.

එහෙත් කිසිවෙකු විසින් සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළද තම රටේ ප්‍රතිපත්ති වෙනස් නොවන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මේ සම්බන්ධයෙන් පවසා තිබුණි.