සරසවි වරම් ලැබූවන්ගේ අයදුම්පත් කැඳවයි

සරසවි වරම් ලැබූවන්ගේ අයදුම්පත් කැඳවයි

April 19, 2014   08:10 am

2014 වසරේ විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලැබු නවක සිසුන් බදවා ගැනීමට අදාළ අයදුම්පත් ලබන සතිය තුළ කැඳවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

2013 වසරේ උසස් ‍පෙළ විභාගය සමත් සිසුන් සඳහා අයදුම්පත් නිකුත් කරන අතර ඒ සමඟ විශ්ව විද්‍යාලයීය පාඨමාලා පිළිබඳ විස්තර ඇතුළත් අත්පොත ද ලබා දීමට නියමිතය.

අයදුම්පත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් හෝ අනුමත පොත් අලෙවි සැල්වලින් මිලදී ගත හැකිය.

මෙවර විශ්ව විද්‍යාල සඳහා සිසුන් 24,540 දෙනෙකු බඳවා ගැනීමට යෝජනා කර ඇති අතර නව පාඨමාලා 02ක් හඳුන්වා දීමට ද නියමිතය.

ඒ අනුව කැලණිය, යාපනය සහ සබරගමුව යන විශ්ව විද්‍යාල සඳහා පරිවර්ථන අධ්‍යයන විෂය හඳුන්වා දෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

කැලණිය විශ්ව විද්‍යාලය සඳහා මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාවක් ද හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

මේ අතර අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දෙවන පාසැල් වාරය ලබන සඳුදා ආරම්භ කෙරේ.

එසේම අවුරුදු නිවාඩුවෙන් පසු ලබන සතිය තුළ දී මදුරු මර්දනය සඳහා දිනයක් වෙන් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත.