විරෝධතාකරුවෙක් මරුට - පිරිසකට තුවාලයි- කර්මාන්ත ශාලාව තාවකාලිකව වසාදමයි

විරෝධතාකරුවෙක් මරුට - පිරිසකට තුවාලයි- කර්මාන්ත ශාලාව තාවකාලිකව වසාදමයි

August 1, 2013   08:35 pm

වැලිවේරිය,රතුපස්වල ප්‍ර දේශවාසීන් බැලුම්මහර නගරයේ කොළඹ - නුවර මාර්ගය අවහිර වන සේ සිදුකළ විරෝධතා ව්‍යාපාරය විසුරුවා හැරීමට ආරක්ෂක අංශ විසින් කටයුතු කරන අතරවාරයේ සිදුවුණු ගැටුමකින් බරපතළ තුවාල ලැබූ එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එසේම තවත් කිහිපදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කර්මාන්ත ශාලාවකින් පිටවන අප ද්‍රව්‍ය හේතුවෙන් වැලිවේරිය , රතු පස්වල ඇතුළු අවට ගම්මාන කිහිපයක ජනතාවට උද්ගතව ඇති ජල ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා විරෝධතාවයේ නිරත ජනයා විසුරුවා හැරීමට ආරක්ෂක අංශ විසින් අද පස්වරුවේ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබේ.

මේ හේතුවෙන් පැය කිහිපයක කාලයක් කොළඹ - නුවර මාර්ගයේ බැලුම්මහර හන්දියේ පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරය හා නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබුණි.

උද්ගතව තිබූ තත්ත්වය සැලකිල්ලට ගෙන විරෝධතාකරුවන් විසිරුවා හැරීම සඳහා පොලීසියට සහය දැක්වීමක් වශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවට මැදිහත් වීමට සිදු වූ බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා අද දෙරණට පැවසීය.

මේ අතර උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා සමග මෙම ප්‍ර දේශයේ නියෝජිතයින් සමග පැවැත්වූ සාකච්ඡාවකදී අදාළ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

මෙම ප්‍ර දේශවල ජලය අපවිත්‍ර වීමට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ අදාළ කර්මාන් ශාලාවද යන්න තහවුරු කර ගැනීම සඳහා ජල සම්පාදන මණ්ඩලය, විශ්ව විද්‍යාල හා අදාළ වගකිවයුත්තන් හා ඒකාබද්ධව පරීක්ෂණයක් ආරම්භ කරන බවත්, සති දෙකක කාලයක් තුළ එකී පරීක්ෂණ වාර්තාව ලබාගැනීමටත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ගැ ගැනීමට අපේක්ෂා කරන බවත් ආරක්ෂක අමාත්‍යංශය කියා සිටියි.

එසේම අපවිත්‍ර ජලය වෙනුවට පිරිසිදු පානීය නව ජල පද්ධතියක් යෙදවීමට කටයුතු කරන බවත් , ඉදිරි සති 6 ක කාලය තුළ එය සම්පූර්ණයෙන්ම ස්ථාපිත කොට නිම කරන බවත් අමාත්‍යංශය පෙන්වාදෙයි.

එතෙක් තාවකාලිකව පීඩාවට පත් සියලුම ජනතාවට බවුසර් මගින් පානීය ජලය සැපයීමට ක්‍රියාකරන බවත් අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් කියැවෙයි.