විදේශිකයකු ඝාතනය කිරීම -ප්‍රධාන සැකකරු තවමත් නිදැල්ලේ

December 26, 2011   04:50 pm

තංගල්ල, වෑමැඩිල්ල ප්‍රදේශයේ හෝටලයකදී විදේශීය ජාතිකයෙකු ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් සැකකරුවන් පිරිසක් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී නැත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ(25) පොලිසියට බාර වූ අතර ඔවුන් තංගල්ල සහ පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

පසුගිය 24 වැනිදා රාත්‍රීයේ හෝටලයේ පැවති සාදයක් අතරතුරදී කිසියම් පිරිසක් විසින් විදේශීය ජාතිකයාට පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරනු ලැබීය.

මියගිය පුද්ගලයාගේ සිරුරේ කැපුම් තුවාල සහ වෙඩිවැදීමෙන් සිදුවූ තුවාල දක්නට ලැබුණු බව වාර්තා විය.

කෙසේ වුව ද ඝාතනයට හේතුව තියුණු ආයුධයකින් කැපුම් තුවාල සිදුවීම බව මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කර ඇත.

සාදය අතරතුරදී විදේශීය ජාතිකයාගේ බිරිඳට හිරිහැර කිරීම හේතුවෙන් ගැටුම හටගෙන තිබේ.

පසුව ඇයට ද පහරදී ඇති අතර මේ වන විට ඇය කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ගැටුම සිදුවන අවස්ථාවේ දී තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම ස්ථානයේ සිට ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සාක්ෂි ලැබී නොමැති බව පොලිසිය සඳහන් කරයි.