තංගල්ල ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් පොලීසියට භාරවෙති

December 25, 2011   10:21 pm

තංගල්ල ප්‍රදේශයේ හෝටලයකදී විදේශීය ජාතිකයෙකු ඝාතනයට ලක්වීමේ සිදුවීමට අදාළව සැකකරුන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

මෙම සැකකරුවන් දෙදෙනා අද පස්වරුවේ පොලීසියට භාරවූ බවත්,ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවත් හෙතෙම අද දෙරණට කියා සිටියේය.

ඝාතනයෙන් පසුව සැකකරුවන් පළාගිය බව කියන වෑන් රථයක් තංගල්ල,විතාරන්දෙණිය ප්‍රදේශයේ තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙම සිදුවීම පිළිබඳ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ.

මෙම ඝාතන සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු සහ සෙසු සැකකරුවන් මේවන විට හඳුනාගෙන ඇති බවත්,ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඔහු මීට පෙරාතුව පවසා තිබිණි.

ඝාතනයට ලක්වූ රතු කුරුස සමාජයේ ගාසා තීරයේ සහන සේවකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙක් ගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර රෝහලට යොමුකර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

අද අලුයම තුනට පමණ ඝාතනය සිදුව ඇති බව පොලිසිය පවසයි. ඊයේ රාත්‍රී එම හෝටලයේ පැවති සංගීත වැඩසටහනකට සහභාගී වු පිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති අතර ඊට මැදිහත් වු විදේශීය යුවල වෙත පැමිණි පිරිස පහරදී ඇති බව වාර්තා විය. මෙහිදි වෙඩිතැබීමක් ද සිදුව ඇති බව සඳහන් වේ.

කෙසේ වුව ද මෙම සිද්ධියට තංගල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

හෝටලයේ පැවති සංගීත සාදයේදී ඝාතනයට ලක්වූ විදේශිකයාගේ බිරිඳට ප්‍රාදේශීය දේශපාලනඥයා ඇතුළු පිරිස විසින් අශෝභන විහිළු තහළු සිදුකර ඇති බවත්,ඔවුන්ට හිරිහැර බාධාකරමින් හැසිරී ඇති බවත් කියැවෙයි.

මෙම හේතුව නිසා විදේශිකයා මෙම පිරිසට තම අප්‍රසාදය පළකිරීමත් සමග දෙපිරිස අතර යම් බහින්බස්වීමක් සිදුව තිබේ.

එහි අවසානයේ ප්‍රාදේශීය දේශපාලනඥයා ඇතුළු පිරිස විසින් මෙම යුවළට පහරදී ඇති අතර වෙඩිතැබීමක්ද සිදුව ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් තුවාල ලැබූ විදේශිකයාගේ රුසියානු ජාතික බිරිඳ කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.