විදේශිකයකුගේ බිරිඳට ලොල්වී විදේශිකයා ඝාතනය කරලා

December 25, 2011   09:16 am

තංගල්ල ප්‍රදේශයේ හෝටලයකදී විදේශීය ජාතිකයෙකු ඝාතනයට ලක්ව තිබේ.

අද අලුයම තුනට පමණ ඝාතනය සිදුව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රී එම හෝටලයේ පැවති සංගීත වැඩසටහනකට සහභාගී වු පිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති අතර ඊට මැදිහත් වු විදේශීය යුවල වෙත පැමිණි පිරිස පහරදී ඇති බව වාර්තා වේ. මෙහිදි වෙඩිතැබීමක් ද සිදුව ඇති බව සඳහන් වේ.

අද දෙරණ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ අදාළ පුද්ගලයා මියයාමට හේතුව වෙඩි ප්‍රහාරයකට ලක්වීම ද පහරකෑමට ලක්වීම ද පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

කෙසේ වුව ද මෙම සිද්ධියට තංගල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

හෝටලයේ පැවති සංගීත සාදයේදී ඝාතනයට ලක්වූ විදේශිකයාගේ බිරිඳට ප්‍රාදේශීය දේශපාලනඥයා ඇතුළු පිරිස විසින් අශෝභන විහිළු තහළු සිදුකර ඇති බවත්,ඔවුන්ට හිරිහැර බාධාකරමින් හැසිරී ඇති බවත් කියැවෙයි.

මෙම හේතුව නිසා විදේශිකයා මෙම පිරිසට තම අප්‍රසාදය පළකිරීමත් සමග දෙපිරිස අතර යම් බහින්බස්වීමක් සිදුව තිබේ.

එහි අවසානයේ ප්‍රාදේශීය දේශපාලනඥයා ඇතුළු පිරිස විසින් මෙම යුවළට පහරදී ඇති අතර වෙඩිතැබීමක්ද සිදුව ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් තුවාල ලැබූ විදේශිකයාගේ බිරිඳ කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.