සංචාරකයින් බය කරන දකුණේ පාතාලය

සංචාරකයින් බය කරන දකුණේ පාතාලය

March 27, 2024   08:42 am

රට තුළ සාමකාමී වාතාවරණයක් පැවතීම සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට සෘජුව බලපාන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

නමුත් දකුණු පළාත තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් හා වෙඩිතැබීම් හේතුවෙන් සංචාරකයින් කම්පනයට පත්විය හැකි බව පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

"පාතාල ක්‍රියාකාරකම් වගේ බිහිසුණු දේවල් නිසා සංචාරකයින් බියට පත්වෙනවා. විශේෂයෙන් දකුණු වෙරළ ආශ්‍රිතව බෙන්තර ප්‍රදේශයේ, අහුංගල්ල, කොස්ගොඩ, රත්ගම හා හික්කඩුව වගේ ප්‍රදේශවල තියෙන සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වලින් සංචාරකයෝ කම්පනයට පත්වෙලා තියෙන්නේ. යුරෝපයේ වගේ රටවල්වල මිනිස්සු බොහෝම සාමකාමී පරිසරවල ජීවත් වෙන්න කැමති අය. ඒ මිනිස්සු ඇවිල්ලා මෙහෙ වෙඩි තියෙන ඒවා දකිනකොට ඒ මිනිස්සු කම්පනයට පත්වෙනවා. සදාකාලිකව ඒ මිනිස්සු ආය මෙහෙ එන්නේ නැති වෙයි. ඒ නිසා නීතිය සාමය පවත්වාගෙන යෑමත් සංචාරකයින්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමත් ඉතාමත් අවශ්‍යයි."

එමෙන්ම ප්‍රමිතියෙන් තොරව සිදුකරන සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත විවිධ ක්‍රියාකාරකම් නියාමනය කිරීමට පියවර ගන්නා බවද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.