PHI රොෂාන් ඝාතනයේ පරීක්ෂණවල අලුත්ම තත්ත්වය

PHI රොෂාන් ඝාතනයේ පරීක්ෂණවල අලුත්ම තත්ත්වය

February 27, 2024   02:53 pm

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ W. D රොෂාන් කුමාර මහතා ඝාතනය කිරීමට හේතුව මෙතක් අනාවරණ වී නොමැති බව පොලීසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව වාර්තා විය.

එමෙන්ම කිසිදු පාතාල කල්ලියක් සමග ඔහුගේ සබඳතාවක් නොමැති බව ද පොලීසිය මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇති බව සඳහන් ය.

මේ අතර ඒ මහතාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව අද (27) ඥාතීන් වෙත භාර දී තිබේ.

ඒ අනුව දේහය මේවන විට ඇල්පිටිය - කුරුඳුගහහැතැක්ම, පතිරාජ වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පළිබඳ අවසන් කටයුතු ඇල්පිටිය පොදු සුසාන භූමියේදී හෙට සිදුකිරීමට නියමිත ය.

ඊයේ උදෑසන යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් කළ වෙඩි තැබීමෙන් රොෂාන් කුමාර මහතා ජීවිතක්ෂයට පත්විය.

ඝාතනයට ලක්වන අවස්ථාවේ ඔහු සිය පුතු පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා පාසලට රැගෙන යාමට සූදානම් කරමින් සිට ඇති බව වාර්තා වුණි.

කෙසේවෙතත් වෙඩිතැබීමට හේතුව හෝ වෙඩික්කරුවන් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තාවී නොමැත.