ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව තීන්දු තීරණ ගන්නා බව ජනපති කියයි

ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව තීන්දු තීරණ ගන්නා බව ජනපති කියයි

October 5, 2024   03:53 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව ජනාධිපතිවරයා, මහානායක හිමි ප්‍රමුඛ සංඝරත්නය සමඟ වත්මන් ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් කෙටි පිළිසඳරකට ද එක් විය.  

තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති ආකාරයට සියලු තීන්දු තීරණ ගැනීම තම අරමුණ බව මෙහිදී පැවසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි මහ මැතිවරණයෙන් පසු ඊට අදාළ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

තානාපතිවරුන් පත් කිරීමේදී උගත්, බුද්ධිමත්, විදෙස් රටක මෙරට නියෝජනයට ගැළපෙන පිරිසක් පත් කිරීමට කටයුතු කරන ලෙසත්, ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී දේශපාලනය පිළිබඳ නොසිතා වගකීම් සහගත පුද්ගලයන් පත් කරන ලෙසත් මෙහිදී මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

එසේම අමාත්‍යාංශ සඳහා ලේකම්වරු පත් කිරීමේදී ද ඊට ගැළපෙන පිරිස් පත් කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

අනුනායක හිමිවරුන්, ලේඛකාධිකාරි හිමිවරුන් ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කෙරුණි.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද  (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක දර්ශනපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී අමරපුර මහා නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ  රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගා ගත යුතු බවය. එවිට ලෝකයේ ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාවට නැඟී සිටිය හැකි බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපතිවරයාට විරුද්ධව ආගම මුල් කරගනිමින් අවලාද ව්‍යාපාරයක් ක්‍රියාවට නැංවීමට ඇතැම් කණ්ඩායම් සංවිධානාත්මකව ක්‍රියා කළ බව පෙන්වා දුන් මහා සංඝරත්නය එම ප්‍රකාශ සාවද්‍ය බව මේ වන විටත් තහවුරු වී තිබෙන බව පැවසීය.

නමුත් මෙවන් අවලාද ව්‍යාපාර ඉදිරියේදී ද ඇතිවීමට ඉඩ ඇති බව පෙන්වා දුන් මහා සංඝරත්නය ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව ජනතාව පෙන්වාදී ඇති බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අපහාස සහ අවලාදවලින් තම කණ්ඩායම පිළිබඳ මවා තිබු චිත්‍රය සහ බිය මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ බවත්, ඒවා සියල්ල ප්‍රවාද බව මේ වනවිට තහවුරු වී තිබෙන බවත් කියා සිටියේය. 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව ද මෙහිදී මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් විමසා සිටියහ.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තමන් අපේක්ෂා කරන බවය. දීර්ඝ සාකච්ඡාවකින් සේම ජනමත විචාරණයකින් පසුව පමණක් එය සිදු කිරීම තම අපේක්ෂාව බවත්, පසුගිය රජයන් විසින් ඔවුන්ට අවශ්‍ය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු කළා මිස ජනතාවගේ එකඟතාව අනුව එය සිදු නොකළ බවත් පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් රට යම් මට්ටමකට ස්ථාවර කර ජනතාව විසින් අපේක්ෂා කරන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනපති අමරපුර මහා නිකායේ  මහා නායක හිමිපාණන් වහන්සේ  බැහැ දැක ආශිර්වාද ලබා ගනී

ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගනී