කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය වසා දැමෙයි

කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය වසා දැමෙයි

February 24, 2024   12:03 pm

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගින් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය තාවකාලික ව වසා දැමීමට පියවර ගෙන තිබේ.

ගත වූ දින කිහිපය තුළ එම ඒකකයෙන් ප්‍රතිකාර ලැබූ වකුගඩු රෝගින් කිහිප දෙනෙකු මිය යාම සැලකිල්ලට ගනිමින් ඊයේ (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ඒකකය වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මාසයක පමණ කාලය තුළ එම ඒකකයෙන් රුධිර කාන්දුකරණයට ලක්කළ වකුගඩු රෝගීන් 05 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බව වාර්තා විය.

විෂබීජ ආසාධනයක් හෝ රුධිර කාන්දුකරණය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය හෝ උපකරණවල ගැටලුවක් මෙම තත්ත්වයට හේතු වී ඇති ද යන්න සම්බන්ධයෙන් රෝහල් මට්ටමින් පරීක්ෂණයක් සිදු කර තිබුණ ද එහි දී නිශ්චිත හේතුවක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවසුවේය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මේ වන විට ඊට අදාළ කණ්ඩායමක් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇති බව අද දෙරණ කළ විමසීමක දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය යථා තත්ත්වයට පත් කරන තුරු ඊට යොමු කෙරෙන රෝගින් වෙනත් රෝහල් වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇත.