දරු තිදෙනා ගෙයි සිරකර මව්පියන් සිරිපා වඳින්න ගිහින්

දරු තිදෙනා ගෙයි සිරකර මව්පියන් සිරිපා වඳින්න ගිහින්

January 25, 2024   07:46 am

අවුරුදු අට, පහ සහ තුන යන වයස්වල පසුවෙන දරුවන් තිදෙනා නිවෙසෙහි තනි කර දමා බාරයක් ඔප්පු කිරීමට යැයි පවසා ශ්‍රීපාද වන්දනාවේ ගිය මව සහ පියා අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලීසිය සඳහන් කරයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දීගල්ල, එලතලව ප්‍රදේශයේ යුවළකි. 

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව අදාළ නිවෙස පරීක්ෂාව සඳහා ගිය නිලධාරීන්ට දක්නට ලැබී ඇත්තේ දොරගුලු දමා තිබූ නිවෙස පමණි. 

පසුව කළ සොයා බැලීමේදී තහවුරු කර ගැනීමට හැකිව ඇත්තේ දරුවන් තිදෙනකු එම නිවෙස තුළ සිටින බවය.

එම දරුවන් තිදෙනා ඒ වන විටත් උණ රෝගයෙන් පෙළෙමින් සිටි බව විමර්ශන සඳහා ගිය නිලධාරීන්ට අනාවරණය වී තිබිණි.

එම නිසා දරුවන් තිදෙනා කඩිනමින් රෝහල් ගත කිරීමට පොලීසිය පියවර ගෙන ඇත. 

පාන්, බිස්කට් ආදී ක්ෂණික ආහාර වර්ග නිවෙසට ගෙනැවිත් දී මෙම යුවළ තවත් පිරිසක් සමග වන්දනාවේ ගොස් ඇතැයි පොලීසිය කළ මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

වන්දනා ගමන නිමවී පැමිණි මවුපියෝ වහා අත්අඩංගුවට ගෙන තිබූ අතර රෝහල් ගතව සාංකාවෙන් පසුවන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දරුවන්ගේ මව එම ස්ථානයේ රඳවා තිබිණි. 

සිද්ධියට අදාළ සැකකාර පියා හා මව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කුලියාපිටිය පොලීසිය පවසයි.

උපුටාගැනීම - අරුණ පුවත්පත