පොලිස් නිලධාරියෙකු ඇදගෙන ගිය රියදුරා අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකු ඇදගෙන ගිය රියදුරා අත්අඩංගුවට

December 31, 2023   10:27 pm

රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීයෙක් අනතුරට ලක්කර පළාගිය සැකකාර රියදුරෙක් පැය කිහිපයකට පසුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රසිද්ධ කුලී මගී ප්‍රවාහන ආයතනයක රියදුරෙක් ලෙසට සේවය කරන 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

මෙලෙස සැකකරු විසින් අනතුරට ලක්කර ඇත්තේ බම්බලපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

එම කොස්තාපල්වරයා පසුගිය 29 වනදා කොළඹ 05 හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ වජිර පාරේ රාජකාරියේ නිරතව සිටියදී සැකකරු පැදවූ මෝටර් රථය නවත්වා එහි ලිපිලේඛන පරීක්ෂාව කිරීමට ඉල්ලා ඇත.

කොස්තාපල්වරයා වාහනය තුළට අත දමා ලිපිලේඛන පිටතට ගැනීමට උත්සාහ කරද්දී රියදුරු රථයේ පැතිවීදුරුව ඉහළ උස්සා ඇති අතර එහිදී කොස්තාපල්වරයාගේ අත එහි සිරවීමත් සමග රියදුරු මෝටර් රථය පණගන්වා වේගයෙන් ඉදිරියට ධාවනය කර තිබේ.

මෙලෙස මීටර් දෙසීයක් පමණ මෝටර් රථය ධාවනය කළ සැකකාර රියදුරා අසල තිබූ මෝටර් රථයක පොලිස් කොස්තාපල්වරයා ගැටීමට සලස්වා ඔහු අනතුරට ලක්කර ඉන් පළාගිය ආකාරය ඒ අසල තිබූ CCTV කැමරා වල පටිගත වී තිබේ.

බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහළට ඇතුළත් කර ඇත.