මාදම්පිටියේ ඝාතනයට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

මාදම්පිටියේ ඝාතනයට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

October 18, 2024   09:16 am

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත ඉදිරිපිටදී ඉකුත් 16 වනදා වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 45 හා 50 යන වයස්වල පසුවන කොළඹ 10 හා කොළඹ 15 ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

ඉහත සැකකරුවන් මෙම වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ මරණකරු සමග ත්‍රිරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනා වෙයි.

මොවුන් විසින් මරණකරුව නිවසේ සිට වෙඩිතැබීම සිදු කළ ස්ථානයට ත්‍රිරෝද රථයෙන් රැගෙන ගොස් ඇති බව හෙළිවී තිබේ.

ඔවුන්, වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් සමග දුරකථනයෙන් සම්බන්ධවී මෙම ඝාතනයට ආධාර අනුබල දී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.