නීති විරෝධීව ඩීසල් විකිණූ අයෙකු අත්අඩංගුවට

නීති විරෝධීව ඩීසල් විකිණූ අයෙකු අත්අඩංගුවට

October 18, 2024   09:27 am

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ඩීසල් මුදලට විකිණු පුද්ගලයෙකු ඩීසල් ලීටර් 1,225 ක් සමග පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකා දඹුල්ල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගලෙන්බිඳුණුවැව, මොරගොඩ මීගස්වැව‍, නාමල්පුර‍ ප්‍රදේශයේ අදාළ වැටලීම සිදුකර ඇත.

එහි දී අනාරක්ෂිතව ගබඩා කර තිබු ඩීසල් ලීටර් 1,225 ක් හා ඊට අදාළ උපකරණ ද සමග එම ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරගොඩ පොලිස් ස්ථානය වෙත භාර දි ඇත.