ඇහැළේපොළ වලව්ව ආයෝජන ව්‍යාපෘතියකට යොදාගැනීමේ සැලසුමක්

ඇහැළේපොළ වලව්ව ආයෝජන ව්‍යාපෘතියකට යොදාගැනීමේ සැලසුමක්

November 9, 2023   02:38 pm

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව, දළදා මාළිගාව භාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී අමාත්‍යවරයා පෙන්වාදී ඇත.

ඇහැලේපොළ වලවුව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස යෙදවීමේ දී එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා විසින් අවධාරණය කර තිබේ. 

ඓතිහාසික ඇහැළේපොළ වලව්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 147ක් පමණ වැයවී ඇති අතර මෙම දේපළ දළදා මාළිගාවට පවරා ගන්නේ නම් සංවර්ධන කටයුතු වෙනුවෙන් වැයවූ මුදල යළි නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

අදාළ මුදල ගෙවීමට දළදා මාළිගාව අකමැතිනම් එම දේපළ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගත යුතු බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

කෙසේවෙතත් මෙම දේපළ සංවර්ධනය කිරීමට වැයවූ මුදල් නැවත ගෙවීම සම්බන්ධයෙන් දළදා මාළිගාව පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති බව උපදේශක කාරක සභාවේදී අනාවරණය වී ඇත.