අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම තහනම්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම තහනම්

September 30, 2023   09:46 pm

අවසරයකින් තොරව අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට යෑම තහනම් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

අද (30) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා මේ බව පැවසීය.

අවසරයකින් තොරව අවාරයේ ශ්‍රී පාදය කරුණා කළ හැකි බවට පසුගිය දිනවල පළවූ මාධ්‍ය වාර්තා සත්‍ය නොවන බවද ඔහු පැවසීය.

2022-2023 ශ්‍රී පාද වන්දනා සමග අවසන්වීමත් සමග ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි අවසරයකින් තොරව අවාරයේ ශ්‍රී පාදස්ථානය හැටන් මාර්ගය ඔස්සේ සහ රත්නපුර මාර්ගය ඔස්සේ කරුණා කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබුණි.

අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමේදී අදාළ ආයතනවලින් අවසර ලබාගෙන ඒ පිළිබඳව නල්ලතන්නිය සහ රත්නපුර පොලිස් ස්ථාන දැනුවත් කළ යුතුය.

මේ දිනවල ශ්‍රී පාදස්ථාන මළුව ප්‍රදේශයට කඩින්කඩ අධික වර්ෂාව පතිත වන බැවින් ශ්‍රී පාදස්ථානයට පිවිසෙන පියගැටපෙළ ඔස්සේ අධික ජල ධාරාවක් පහළට ගලාබසින නිසා ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම අවධානම් බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.