රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ වකුගඩු සැත්කම් සිද්ධියේ විමර්ශන තවදුරටත්
August 9, 2023 04:24 pm
පසුගියදා බොරැල්ල ළමා රෝහලේ තුන් හැවිරිදි දරුවකු වකුගඩු සැත්කමකට භාජනය වීමෙන් අනතුරුව මරණයට පත්වීමේ සිද්ධියට අදාළව ඉදිරිපත් වී තිබෙන සාක්ෂි සහ වෛද්‍ය වාර්තා ඔස්සේ තවදුරටත් පරීක්ෂණයක් සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (09) බොරැල්ල පොලීසියට නියම කළාය.
දරුවාගේ මරණයට අදාළ මරණ පරීක්ෂණය අද යළි කැඳවනු ලැබූ අවස්ථාවේ දී පොලීසිය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබේ.
මහේස්ත්‍රත්වරිය සඳහන් කර ඇත්තේ, මියගිය දරුවාගේ වකුගඩු නියමිත ස්ථානවල පිහිටා තිබූ බවට වෛද්‍ය වාර්තා හා සාක්ෂිවලින් ද හෙළිදරව් වී තිබෙන බැවින් එම කරුණු ද සැලකිල්ලට ගෙන තවදුරටත් පරීක්ෂණ සිදුකළ යුතු බවය.
මෙහි දී බොරැල්ල පොලීසියේ නිලධාරීන් අධිකරණයට දන්වා ඇත්තේ, අදාළ දරුවාගේ ඉවත් කළ එක් වකුගඩුවක් රෝහලේ තිබෙන බවට කරුණු අනාවරණය වී තිබෙන බවයි.
ඉන් අනතුරුව බොරැල්ල පොලීසියේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ මියගිය දරුවාගේ පියා වන මොහොමඩ් නිසාර් මොහොමඩ් ෆස්ලිම් මහතා ද සිද්ධිය පිළිබඳ සාක්ෂි ලබා දී ඇත.
බොරැල්ල පොලිසියේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ මියගිය දරුවාගේ පියා වන මොහොමඩ් නිසාර් මොහොමඩ් ෆස්ලිම් මහතා අද සාක්ෂි ලබා දී තිබිණි.
උපුටා ගැනීම,
" මගේ මියගිය පුතා ඉපදී මාස නවයකින් පසුව ඔහුගේ බඩේ ගෙඩියක් ආවා. වෛද්‍ය රන්දුල රණවක දරුවා පරික්ෂා කරලා කිව්වා මුත්‍රා අවහිරයක් තියෙනවා ඒ නිසා වෛද්‍ය මලික් සමරසිංහ හමුවෙන්න කියලා. ඔහු පරීක්ෂණ කිහිපයක් කරලා බොරැල්ල ළමා රෝහලේ ඔහුගේ සායනවලට එන්න කියලා කිව්වා. පසුව අපි බොරැල්ල ළමා රෝහලේ සායන වලට ගියා. ඒ පරීක්ෂණ වලින් පස්සේ එයා කිව්වා දරුවාගේ වම් වකුගඩුවේ සියයට නවයක් පමණක් වැඩ කරන බව. සෛල වැඩිලා නැති නිසා වම් වකුගඩුව අයින් කරන්න ඕන කියලා කිව්වා. පස්සේ පුතාගේ අනාගතය ගැන හිතලා අපි ඒකට කැමති වුණා. ඒ අවස්ථාවේදී මගේ බිරිඳ වෛද්‍යවරයාගෙන් ඇහුවා මේකෙන් දරුවාගේ ජීවිතයට හානියක් වෙයිද කියලා. ඒ වෙලාවේ වෛද්‍යවරයා කිව්වා තනි වකුගඩුවෙන් ජීවත්වෙන අය ඕන තරම් ඉන්නවා කියලා. වකුගඩුවක් බද්ධ කරන්න ඕනද කියලත් අපි ඇහුවා. අවශ්‍ය නෑ කියලා වෛද්‍යවරයා සඳහන් කළා. "
උපුටා ගැනීම අවසන්
ඉන් අනතුරුව වැඩිදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකරු සඳහන් කළේ, සිය දරුවා බොරැල්ල ළමා රෝහලේ දී පසුගිය දෙසැම්බර් මස 24 වනදා වකුගඩු සැත්කමකට භාජනය කළ බවය.
උපුටා ගැනීම,
''ඒ සැත්කම කළේ වෛද්‍ය නවීන් විජේකෝන් කියලා අපි දැන ගත්තා. සැත්කම සිදුවී පසුදා මම දරුවාව බලන්න අයි.සී.යූ එකට ගියා. ඒ වෙලාවේ දරුවා තරමක් ඉදිමිලා වගේ හිටිය මං දැක්කා. ශල්‍යකර්මය සිදු වී දවස් හතරකින් පසුව වෛද්‍යවරු අපිව හම්බ වෙන්න ඕන කිව්වා. අපි ගිහින් හම්බ වුණා. ඒ වෙලාවේ වෛද්‍ය මලික් සමරසිංහ අපිට කිව්වා අපේ අතින් වරදක් වුණා. වකුගඩු දෙකම ඉවත් වෙලා තියෙනවා කියලත් වෛද්‍යවරයා කිව්වා. ඩයලයිසිස් කරලා දරුවා බේර ගන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේම මාස තුනකින් විතර වකුගඩුවක් බද්ධ කර දෙනවා කියලත් වෛද්‍යවරයා සඳහන් කළා. නමුත් දරුවා මිය යන තුරුම වකුගඩුවක් බද්ධ කර දුන්නේ නෑ. වකුගඩුවක් බද්ධ කිරීම සඳහා වකුගඩු දෙන්න කැමති තුන් දෙනෙකු අපි වෛද්‍යවරුන්ට ඉදිරිපත් කළා. ඒකටත් සාර්ථක උත්තරයක් දුන්නෙ නැහැ. අවසානයේ ජූලි මස 27 වැනි දා පුතා නැති වුණා"
උපුටා ගැනීම අවසන්
මෙහිදී මියගිය දරුවාගේ වකුගඩු නියමිත ස්ථානවල පිහිටා තිබූ බවට වෛද්‍ය වාර්තා හා සාක්ෂි වලින්ද හෙළිදරව් වී තිබෙන බැවින් එම කරුණුද සැලකිල්ලට ගෙන තවදුරටත් පරීක්ෂණ සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය බොරැල්ල පොලීසියට නියම කළේය.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 22 වනදා දක්වා කල් තැබිණි.