කම්කරු දිනයේ සැබෑ අයිතිකරුවන්ගේ දුක්ගැනවිල්ල

කම්කරු දිනයේ සැබෑ අයිතිකරුවන්ගේ දුක්ගැනවිල්ල

April 30, 2023   07:42 pm

දේශපාලන පක්ෂ හෙට (01) කම්කරු දිනය දවසේ මැයි සැමරුම් පවත්වන්න සූදානම් වුවත්, සැබෑ කම්කරුවාට සිදුව ඇත්තේ හෙට කම්කරු දිනය දවසෙත් තම දිවි සරි කරගැනීමේ සුපුරුදු ප්‍රයත්නයේ නිරත වීමටය.

ඔවුන් "අද දෙරණ"ට ඒ ගැන තම හැඟීම මෙසේ පළ කළේය.

මංමාවත් වල පවිත්‍රතාව රකින පවිත්‍රතා සේවකයන්, වෙළෙඳාමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන නාට්ටාමිවරුන්, වීදි වෙළෙඳුන්, අනෙකුත් කම්කරුවන් සිය දෛනික සේවා කටයුතුවල නියැලෙන්නේ නිවාඩු දිනයන් පිළිබඳ අමතක කරය.

හෙට ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගෙන, ඔවුන් ගැන කතාබහ කෙරෙන දවස.

රට පුරා දේශපාලන පක්ෂවල මැයි රැලි, වෘත්තිය සමිතිවල මැයි සැමරුම් හෙට දවසේ මහා ඉහළින් සංවිධාන කෙරුණත් මේ කම්කරුවන් හෙට දවස ගතකරන්නෙත් එදා වේල සරිකරගැනීමට වෙහෙස වෙමිනි.

"අපිට කම්කරු දිනය කියලා නිදහසක් නෑ.. වැඩ කළොත් තමා පඩි ලැබෙන්නේ. ඒ නිසා අපි එදාටත් වැඩ කරනවා."

"හැමදාම වැඩ. නැත්නම් මේ පාරේ යන්නත් බැරි තත්ත්වයට කුණු හිටියි."

ප්‍රශ්නය - හෙට දවස මතක ද?

"හෙට නිදහස නේ... අපේ. සමරන්න බෑනේ අපිට වැඩ දෙනවා නේ. වැඩ කළේ නැත්නම් පඩිය නෑනේ."

"අනිවාර්යෙන්ම වැඩ කරන්න වෙනවා. නිදහසේ හිටියොත් කවුද අපිට කන්න බොන්න දෙන්නේ. අපි අත හෙල්ලුවොත් තමා කට හෙල්ලෙන්නේ."

"අපි හෙටත් වැඩ මොනවා කරන්න ද?" 

"කම්කරු දවස අපිට එපා කරපු දවසක්. කඩවල් වැහුවා කියන්නේ කවුද කන්න බොන්න දෙන්නේ"