ඡන්දෙ ට අදාළ පෙත්සමක් ඉල්ලා අස් කරගනී

ඡන්දෙ ට අදාළ පෙත්සමක් ඉල්ලා අස් කරගනී

March 14, 2023   03:44 pm

මැතිවරණයට අදාළව සමගි ජන බලවේගයෙන් කොළඹ මහනගර සභාව සඳහා තරග වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස් කරගෙන තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය විසින් සිදුකරනු ලබන බාධා කිරීම් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබුණි.

මෙම පෙත්සම අද විජිත් මළල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බව සඳහන් කළේය.

ඒ අනුව පෙත්සම ඉල්ලා අස් කර‍ගැනීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දුනි.

මුජිබුර් රහුමාන් මහතා ගොනු කළ එම පෙත්සම තුළින් සඳහන් කර තිබුණේ රජය විසින් මූල්‍ය පහසුකම් සැපයීම, ඇතුළු විවිධ කාරණා හරහා පළාත් පාලන ඡන්ද විමසීමට සිදුකරන බාධා කිරීම් හේතුවෙන් නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවය.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබුණි.