ගෝඨාභයගේ පැමිණීම ගැන රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ තහවුරු කිරීමක්

ගෝඨාභයගේ පැමිණීම ගැන රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ තහවුරු කිරීමක්

August 18, 2022   08:55 pm

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සනාථ කර තිබේ.

CNN ප්‍රවෘත්ති සේවාවට ඔහු පවසා ඇත්තේ හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන බව රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ දැනුම්දී ඇති බවය. 

ඉකුත් ජූලි 13 වනදා දිවයිනෙන් නික්ම ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුව සිංගප්පූරුවේ රැඳී සිටි අතර මේ වනවිට තායිලන්තයට පැමිණ සිටී.

ඒ මහතා ලබන සතියේ යළි මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා CNN පුවත් සේවයට තහවුරු කර තිබුණි.

ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් නිල වශයෙන් රජයට කාර්යභාරයක් නොමැති බවත්, ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ඔහුට රිසිසේ සංචාරයන්හි නිරත වියහැකි බවත් අමාත්‍ය අලි සබ්රි මහතා එම පුවත් සේවයට වැඩිදුරටත් පවසා තිබුණි.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මානව හිමිකම් කඩවී ඇතැයි පවසමින් ''රට රකින ජන පවුර'' නම් සංවිධානයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද පැමිණිල්ලක් භාරදුනි.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට පුරවැසියෙකු වශයෙන් හිටපු ජනාධිපතිවරයාට මෙරටට පැමිණ ජීවත්වීමේ අවස්ථාව හිමිවිය යුතු බවය.