පිරිමි දරුවෙක් සොයා මහරගම පොලීසියෙන් මෙහෙයුමක්

පිරිමි දරුවෙක් සොයා මහරගම පොලීසියෙන් මෙහෙයුමක්

May 9, 2024   10:12 pm

පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පිරිමි දරුවෙකු දින 4ක සිට අතුරුදන්වී ඇති බවට වාර්තා වෙයි.

මෙලෙස අතුරුදන්වී ඇත්තේ පන්නිපිටිය ,ඇරැව්වල ,කොස්ගහහේන ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි කලණ මිහිරංග නම් පිරිමි දරුවෙකි.

මීට වසරකට පෙර හටගත් හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් මව මියයෑමෙන් පසුව කලණ මෙම නිවසේ වාසය කර තිබුණේ සිය පියා සහ නැගණිය සමගය.

කලණ ඔටිසම් රෝගයකින් පෙළුණු අතර කලණගේ පියාද රෝගී තත්ත්වයකින් කලක සිට පීඩා විඳිමින් සිටින අයෙකි.

මෙවන් පසුබිමක, ඉකුත් 5 වනදා රාත්‍රියේ කලණගේ පියාගේ රෝග තත්ත්වය උත්සන්න වී තිබේ.

එහිදී කලණගේ නැගණිය පියා රෝහල්ගත කිරීම සඳහා අසල්වාසී කාන්තාවක් සමග ගොස් ඇති අතර, නිවසේ සිට තිබුණේ කලණ පමණය.

පියා රෝහල්ගත කිරීමෙන් පසුව ඔවුන් යළි නිවස වෙත පැමිණෙද්දී කලණ නිවසේ නොසිටි බැවින් ඥාතීන් සහ අසල්වාසීන් එක්වී ඔහු පිළිබඳ සොයාබලා තිබුණත් කිසිදු තොරතුරුක් ලැබී තිබුණේ නැත.

මේ සම්බන්ධයෙන් මහරගම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව පොලීසිය දරුවා සොයා විමර්ශනයක් ආරම්භ කර තිබේ.