පොදු ප්‍රවාහන සේවයේ නවතම වෙනස්කම් මෙන්න

පොදු ප්‍රවාහන සේවයේ නවතම වෙනස්කම් මෙන්න

June 13, 2022   02:38 pm

පොදු ප්‍රවාහන සේවය වඩාත් ඵලදායී ලෙස යොදාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් රජය විසින් හඳුන්වා දී තිබේ. 

ඒ අනුව ප්‍රවාහන ගාස්තු විශාල ලෙස ඉහළ යාම සහ ප්‍රවාහන පිරිවැය ඉහළයාම හමුවේ විශේෂ දුම්රිය කිහිපයක් දුම්රිය සේවාවට හඳුන්වා දී තිබේ.

ඒ අනුව කොළඹ සිට නුවර දක්වා නව සීඝ්‍රගාමී සුඛෝපභෝගී දුම්රිය සේවාවක් හඳුන්වා දී තිබේ.

එම දුම්රිය දිනපතා අලුයම 5.20ට කොළඹින් පිටත්වන අතර එය උදෑසන 8.14 වනවිට නුවරට ලඟාවීමට නියමිතය.

අනතුරුව පස්වරු 4.50ට මහනුවරින් පිටත්වන දුම්රිය රාත්‍රී 7.40ට කොළඹට ළඟාවීමට නියමිතය.

මේ අතර කැළණිවැලි මාර්ගයේ වග සිට කොළඹ දක්වා ද නව දුම්රිය සේවාවක් හඳුන්වා දී තිබේ.

එම නව සීඝ්‍රගාමී දුම්රිය දුම්රිය උදෑසන 6.20ට වග දුම්රිය ස්ථානයෙන් පිටත්ව පෙරවරු 8.12ට කොළඹ කොටුවට පැමිණීමට නියමිතව ඇත.

මේ අතර සවස 4ට කොළඹ කොටුවෙන් ගමන් අරඹන දුම්රිය පස්වරු 5.43ට වගට ළඟාවීමට නියමිතය.

මේ අතර සති අන්ත සීඝ්‍රගාමී සුඛෝපභෝගී විශේෂ දුම්රියක් ගල්කිස්ස සිට යාපනය දක්වා 17වනදා සිට ආරම්භ වීමට නියමිතව ඇත.

එය සිකුරාදා දින රාත්‍රී 10ට ගල්කිස්සෙන් ගමන් ආරම්භ කර පසුදින සෙනසුරාදා අලුයම 5.30ට යාපනයට ලඟාවීමට නියමිතව තිබේ.

එසේම යාපනයෙන් ඉරිදා රාත්‍රී 10ට යාපනයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය සඳුදා අලුයම 5.30ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිතව ඇත.

අත්හදා බැලීමක් ලෙස ආරම්භ කෙරුණු කොළඹ-අනුරාධපුර දුම්රිය සේවය ස්ථාවර දුම්රිය සේවයක් බවට පත්කෙරේ.

ඒ අනුව සවස 4.15ට කොළඹ කොටුවෙන් පිටත්වන දුම්රිය අනුරාධපුරයට රාත්‍රී 8.15ට ලඟාවීමට නියමිතය.

අලුයම 3.45ට අනුරාධපුරයෙන් පිටත්වන දුම්රිය උදෑසන 8ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිතය.

ජුනි 15 වනදා ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

එසේම නව පාසල් බස්රථ 20ක් එළඹෙන 15 වනදා සිට කොළඹට ප්‍රවේශ වන මාර්ග සියල්ලම ඔස්සේ ක්‍රියාත්මකවීමට නියමිතය.

එසේම මාසයක කාලයකදී එය 20 සිට 50 දක්වා ඉහළ නැංවීමට පියවර ගැනීමටද නියමිතය.

පාර්ක් ඇන්ඩ් ඩ්‍රයිව් වැඩසටහන පිළිබඳවද එහිදී ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වීය.

ඒ අනුව 15 වනදා අලුයම සිට මාකුඹුර, කටුබැද්ද සහ කඩවත යන ස්ථානවල නවතා කොළඹ දක්වා සුඛෝපභෝගී බස් රථ ඔස්සේ කොළඹට ඇතුල්විය හැක.

ඒ අනුව ඉහත කී ස්ථානවල සිට උදෑසන 6.30සිට මිනිත්තු 10කට එක් බස් රථයක් බැගින් උදෑසන 8.00දක්වා සුඛෝපභෝගී බස් රථ ගමන් ආරම්භ කරනු ලබයි.

එසේම පස්වරු 4 සිට 6 දක්වා මිනිත්තු 15කට වරක් ක්‍රියාත්මක වන පරිදි කොළඹ සිට මාකුඹුර, කටුබැද්ද සහ කඩවත යන ගමනාන්ත දක්වා සුඛෝපභෝගී බස් රථ ක්‍රියාත්මක වීමට නියමිතය.

එසේම උදෑසන 8 සිට පස්වරු 6 දක්වා කාලය තුළදී පැයකට වරක් මාකුඹුර, කටුබැද්ද සහ කඩවත සිට කොළඹ දක්වාත් කොළඹ සිට ඉහත කී ගමනාන්ත දක්වාත් සුඛෝපභෝගී බස් රථ ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබේ.