අටුලුගම දැරිය ඝාතනයට ඇල්ලූ සැකකරුගේ පාපොච්චාරණය

අටුලුගම දැරිය ඝාතනයට ඇල්ලූ සැකකරුගේ පාපොච්චාරණය

May 30, 2022   08:35 pm

බණ්ඩාරගම අටුලුගමදී ඝාතනය කරනු ලැබූ වයස අවුරුදු 09ක් වූ පුංචි ෆාතිමා ආයිෂාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු අද පාපොච්චාරණයක් සිදුකර තිබේ.

පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම සැකකරු මෙලෙස අදාළ ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදුකර ඇත.

වැඩිදුරටත් වාර්තා වන්නේ සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ප්‍රදේශවාසීන් ෆාතිමාගේ දේහය සොයන අවස්ථාවේ ඔහු ද එම ස්ථානයට පැමිණ සිටි බවය.

දැරියගේ මරණයෙන් පසු සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත්තේ පැය 48ක් වැනි කෙටි කාලයක් තුළදීය.

කුලී රැකියාවල නිරතවන්නෙක් වන අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කළ අතර එහිදී ඔහු සිද්ධිය පිළිබඳ පාපොච්චාරණය කර තිබේ.

ෆාතිමා වෙළෙඳසැලට ගොස් යළි නිවසට පැමිණෙමින් සිටින අතරතුර අසල කැලෑබද ප්‍රදේශයේ සිට ඒ දෙස බලා සිටි බවත් පසුව ෆාතිමා රැගෙන වගුරුබිම වෙත ගිය බවත් ඔහු පැවසුවේ යැයි පොලිසිය සඳහන් කළේය.

සැකකරු වැඩිදුරටත් පවසා ඇත්තේ දැරිය දූෂණය කිරීමට තමා උත්සාහ කළ බවත් එහිදී දැරිය කෑ ගසමින් ඊට විරෝධය පා තමා වෙතින් පලා යාමට උත්සාහ කළ බවය. 

ඇය ඒ පිළිබඳව  ප්‍රදේශවාසීන්ට පවසනු ඇති බවට තමා බිය වූ බවත් එම නිසා දැරියගේ මුවෙහි පාංකඩ ඔබා පසුව මඩේ ගිල්වා තමා ඇය මරා දැමූ බව සැකකරු පාපොච්චාරණය කළ බව පොලිසිය පවසයි.

මෙම සැකකරු අවුරුදු 8,5,3 යන වයස්වල පසුවන දියණියන් තිදෙනෙකුගේ පියෙක් වන අතර ඔහුගේ බිරිඳද ගැබිනියකි.

එමෙන්ම ඔහු ෆාතිමාගේ මවගේ පාර්ශ්වයේ ඥාතියෙක් වන බවටත් වාර්තා වෙයි.

සැකකරු අද පානදුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර ඔහු දින දෙකක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දුනි.

ෆාතිමාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැය හතරකට ආසන්න කාලයක් අද පානදුර මූලික රෝහලේ දී සිදු කෙරුණි.

ඒ අධිකරණ වෛද්‍යවරු තිදෙනෙකු විසිනි.

දැරියගේ මුඛයේ තුවාලයක් තිබෙන බවත්, ඇය දූෂණයට ලක්ව නොමැති බවත් එම වෛද්‍යවරු අනාවරණ කරගෙන තිබුණි.

මරණයට හේතුව ඇතුළත් අවසන් වාර්තාව අධිකරණය වෙත යොමු කිරීමට නියමිතය.

මරණය සම්බන්ධ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් සිදු කෙරෙන අතර කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා සහ පානදුර අපරාධ විමර්ශන කොට්ඨාසය ද විමර්ශන සඳහා එක්ව සිටී.

මේ අතර මරණ පරීක්ෂණයෙන් පසු පුංචි ෆාතිමාගේ දේහය නිවසට රැගෙනවිත් තිබේ.

බණ්ඩාරගම අටුලුගම පදිංචිව සිටි වයස අවුරුදු 09ක් වූ පුංචි ෆාතිමා ආයීෂා පසුගිය සිකුරාදා වෙළෙඳසැලකට යන්නේ කුකුළු මස් රැගෙන ඒමටය.

එය ඇගේ නිවසේ සිට මීටර් 250ක් පමණ දුරින්, නිවසට ආසන්නවම පිහිටි වෙළෙඳසැලකි.

ෆාතිමා යළි නිවසට නොපැමිණීම නිසා ප්‍රෙදේශවාසීන් ඇය සොයා ගම පීරූ අතර පසුව ඇගේ නිසල සිරුර නිවස අසලම වගුරු බිමක තිබී සොයාගැනුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධ විමර්ශන ආරම්භ කළ අතර ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු අද අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ, සිද්ධිය වූ දින සිට ඔහුගේ හැසිරීම පිළිබඳ මතු වූ සැකය හේතුවෙනි.

මෙවන් සිඟිති මල් කැකුළු අකාලයේ විනාශ වූ පුවත් විටින් විට අසන්නට ලැබෙනවා.

මෙවැනි ඛේදනීය සිදුවීම්වලින් දරුවන් බේරාගන්නේ කෙසේද?

මේ සම්බන්ධයෙන් අදහස් පලකළ ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර මහතා.

"කරුණාකරලා ඔබගේ දරුවන් අනාරක්ෂිත ආකාරයෙන් විවිධ ස්ථාන වලට යොමු කරන්න එපා. සැකකටයුතු පුද්ගයින් සමඟ ඔවුන්ට ගැවසෙන්නට දෙන්න එපා. දරුවන් අපයෝජනයට හිංසනයට ලක්වෙන්නේ වැඩි ඉඩක් තියෙන්නේ දන්නා හඳුනන සමීප අය අතින් නිසාමේ අවකාශය සහ අවස්ථාව අවම වෙන ආකාරයෙන්  එහෙම නැත්නම් අහොසිවෙන ආකාරයෙන් කටයුතු කරන්න. එයින අපට පුළුවන් වෙනවා දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත තාවය ඇති කරන්න."