අගමැති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබාගනී

අගමැති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබාගනී

May 8, 2022   11:36 am

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි මහා සෑය අභියස ආගමික වතාවත්වල ද නිරත විය.

එහිදී අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ ආශිර්වාදය ද ලබා ගත්තේය.

ඓතිහාසික මිරසවැටිය විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා එහිදී මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥාණතිලක නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

එම අවස්ථාවේ පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණ සිටි බැතිමතුන් සමග අග්‍රාමාත්‍යවරයා සුහඳ කතාබහක ද නිරත විය.

කෙසේවෙතත් එම ස්ථානයට පැමිණි තවත් පිරිසක්  අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළ කරමින් අදහස් පළ කර තිබුණි.

අගමැතිවරයා ඉදිරියට පැමිණි පුද්ගලයා එහිදී සඳහන් කළේ,

"වඳින්නම් ඔබතුමා තීරණයක් අරං..අපිට රට බේරලා දෙන්න අප්පච්චි."

පසුව තවත් ස්ථානයකදී ඉදිරියට පැමිණි පුද්ගලයෙක් සඳහන් කළේ,

"ඔබගෙන් සුබ පණිවුඩයක් බලාපොරොත්තුවෙනවා හෙට උදේම. ඔබතුමා කළා තමයි. දැන් ඇති."

අගමැතිවරයා මිරිසවැටියේ සිට මෝටර් රථයෙන් පිටව යන අවස්ථාවේදී ද පිරිසක් විරෝධතාවයේ නිරත විය.