රජයේ මැති ඇමතිවරු පිරිසක් ස්වයං නිරෝධායනයට

රජයේ මැති ඇමතිවරු පිරිසක් ස්වයං නිරෝධායනයට

December 24, 2020   11:29 am

කොවිඩ් -19 ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන ඇති රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා සඳහන් කළේ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාව ඊයේ (23) දින කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ පිහිටි ඔහුගේ නිවසේදී ස්වයං නිරෝධානයට යොමු කළ බවය. 

කොවිඩ් - 19 වෛරසය අසාදනය වී දැනට හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකර ඇති ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ සමීප ආශ්‍රිතයෙකු ලෙස වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාව හඳුනාගෙන තිබුණි.

ජීවන් තොණ්ඩමන් මහතාගේ PCR වාර්තාවක් ඉදිරියේදී ලබාගැනීමට නියමිතය.

මේ මස 17 , 18 සහ 19 යන තෙදින තුළම ජීවන් තොණ්ඩමන් මහතා කොවිඩ් - 19 වෛරසය අසාදනය වු කදිර් සෙල්වම් මහතාගේ සමීප ආශ්‍රිතයෙකු වී සිට ඇති බවට සෞඛ්‍ය අංශ මේ වනවිට තහවුරු කරගෙන තිබේ.

මේ අතර මාධ්‍ය වාර්තා අනාවරණය කරන්නේ තලවකැලේ නගර සංවර්ධන රැස්වීමට පැමිණ සිටි වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නිමල් පියතිස්ස හා මරුදපාණ්ඩි රමේෂ්වරන් යන මහත්වරුන් ද නිවෙස් නිරෝධායනයට යොමුකර ඇති බවය.

අමාත්‍ය සී.බී රත්නායක මහතා පැමිණ සිටි රැස්වීමකට සහභාගීවීම හේතුවෙන් මේ දිනවල තමාද හුදකලාව සිටින බව හිටපු අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසා ඇති බවද මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. 

මීට අමතරව තලවකැලේ ලිඳුල නගරාධිපතිවරයා, නුවරඑළිය, කොටගල, අඹගමුව, නෝර්වුඩ් හා මස්කෙළිය ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ද ඇතුළු සේවකයින් 10 දෙනෙකු හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවද වාර්තා වේ.

මෙසේ, ස්වයං නිරෝධායනයට ලක්කර සිටින ජීවන් තොණ්ඩමන් මහතා පසුගියදා කොළඹ දී පැවති වතුසේවක වැටුප් ගැටලුව සාකච්ජා කිරීමට කැඳවා තිබු රැස්වීමට එක් වී සිටියේය.

නාරාහේන්පිට කම්කරු අමාත්‍යාංශයේ සඳුදා (21) පැවති එම රැස්වීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද එක්විය.