ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ වසරේ පාඩුව කෝප් කමිටුවේදී හෙළි වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ වසරේ පාඩුව කෝප් කමිටුවේදී හෙළි වෙයි

August 21, 2019   06:48 am

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවදී විමර්ශනය කෙරුණු අතර එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරින් පිරිසක් ද කමිටුව හමුවේ පෙනී සිටියේය.

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඊයේ(20) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වී තිබුණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳව කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා විමසා සිටි අතර ඊට එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා පිළිතුරු දුන්නේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය බැංකුවලට සහ ඛණිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය සම්බන්ධයෙන් ද එහිදී විමසා සිටියේය.

ශ්‍රී  ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය අර්බුදය විසදීම සඳහා මුදල් අමාත්‍යාංශයට සහන ලබාදිමේ හැකියාවක් නොමැති බව එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා එහිදී පෙන්වා දුන්නේය.

කෝප් කමිටු සාමාජික මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා කළ විමසීමකදී විපුල ගුණතිලක මහතා පැවසුවේ ගුවන් සමාගමේ අලාභය සඳහා පසුගිය කාලයේ මිලදී ගත් ගුවන් යානා සඳහා ගෙවිමට ඇති මුදල ද හේතු වී ඇති බවයි.

පසුව ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතනවලින් ශ්‍රී ලංකන් සමාගමට ලැබිය යුතු මුදල් අයකර ගැනීම සඳහා කටයුතු කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා දැනුම් දුන්නේය.