සහරාන් ගැන ඉදිරිපත් කළ ලිපි ගොනුවට අදාළව TIDයට උපදෙස් දෙන්න නීතිපතිට හැකියාවක් නෑ

සහරාන් ගැන ඉදිරිපත් කළ ලිපි ගොනුවට අදාළව TIDයට උපදෙස් දෙන්න නීතිපතිට හැකියාවක් නෑ

July 11, 2019   07:57 pm

සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් 2017 වසරේදී සහරාන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලිපි ගොනුවට අදාළව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට නෛතික උපදෙස් ලබා දීමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව අද (11) නිවේදනය කළේය.

සහරාන් සම්බන්ධයෙන් වසර දෙකකට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය, නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ ලිපි ගොනුවට අදාළව හිටපු නීතිපතිවරයා කිසිදු පියවරක් ගෙන නොතිබූ බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඊයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවී ප්‍රකාශ කළේය.

ඊට ප්‍රතිචාර දක්වන නීතිපතිවරයාගේ සම්බන්ධීකරන නිලධාරිනී නීතිඥ ඉෂාරා ජයරත්න මෙනවිය පෙන්වා දෙන්නේ, 2017 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂය යොමුකළ ලිපි ගොනුව පරිශීලනය කර බැලීමේදී සහරාන් හෂීම් සහ ඔහුට සම්බන්ධ ජාතික තවුහිඩ් ජමාද් සංවිධානයේ අන්තවාදී ක්‍රියා කලාපයන් පිළිබද කරුණු අඩංගු වී නොතිබූ බවයි. 

එමෙන්ම අදාළ ලිපි ගොනුව පිටු 300 කින් සමන්විත බවට සුදත්ත හිමියන් කරන ප්‍රකාශය සාවද්‍ය සහ නිවැරදි නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව සිය නිවේදයන මගින් අවධාරණය කර ඇත.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, ඉහත කරුණු සලකා බැලීමේදී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඊයේ දින මාධ්‍යයට කරන ලද ප්‍රකාශය, අසත්‍ය, පදනම් විරහිත සහ සාවද්‍ය එකක් බවයි. 

2017 වසරේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂය යොමුකළ ලිපි ගොනුව පරිශීලනය කර බැලීමේදී සහරාන් හෂීම් සහ ඔහුට සම්බන්ධ ජාතික තවුහිඩ් ජමාද් සංවිධානයේ අන්තවාදී ක්‍රියා කලාපයන් පිළිබද කරුණු අඩංගු වී තිබුණේ නැත.