යෝධ අඬු ඉස්සාගේ අස්වැන්න ඉහළට

යෝධ අඬු ඉස්සාගේ අස්වැන්න ඉහළට

July 11, 2019   01:10 pm

ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් වැව්වල වගා  කර ඇති "මැක්ක්‍රොබේරියම් රොසෙන් බර්ජි" නම් විද්‍යාත්මක නාමයෙන් හදුන්වන "කර අඬු ඉස්සා" හෙවත් "මිරිදිය යෝධ අඬු ඉස්සා"ගේ අස්වැන්න මේ දිනවල බහුලව නෙලා ගැනීමට පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවරයින්ට හැකියාව ලැබී ඇත.

පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති කාලීන වැව් බොහෝමයකට මිරිදිය යෝධ අඬු ඉස්සන් පැටවු මුදා හැරීමට ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇත.

මීට මාස 06 කට පමණ පෙර මුදා හරින ලද ඉස්සන් පැටවුන් මේ වන විට හොඳින් වැඩී අස්වැන්න නෙළන තත්ත්වයට පත්ව ඇත.

ඒ අනුව නෙලාගන්නා කර අඬු ඉස්සා හෙවත් මිරිදිය යෝධ අඩු ඉස්සන් කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 1000 ත් 1300 ත් අතර මිළකට අලවි කරන බව ධීවරයින් පවසා ඇත.

යුරෝපා වෙළඳපොල සහ තායිලන්තයෙන් මෙම ඉස්සන්ට විශාල ඉල්ලුමක් පවතින බැවින් ධීවරයින්ට කිසිඳු වියදමකින් තොරව හොඳ ආදායමක් දෛනිකව ලබා ගැනීමට හැකියාව ඇති බව ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම ඉස්සන් වර්ගය ජීවත්වන්නේ කරදියේ වුවත් එම සතුන් තම අභිජනන කටයුතු සඳහා කරදිය මිශ්‍ර මිරිදිය සොයා පැමිණීම සිදු කරයි.

මෙම තත්ත්වය නිසා වැව් වල ජීවත් වන මෙම ඉස්සන් බෝවීමක් සිදු නොකරන ආක්‍රමණශීලී නොවන මිරිදිය සත්ව කොට්ඨාශයක් ලෙසද හදුනා ගෙන ඇත.

මෙම තත්ත්වයට පිළියමක් ලෙස කරදියෙන් අල්ලා ගන්නා මිරිදිය යෝධ අඬු ඉස්සා හෙවත් කර අඬු ඉස්සන්ව අභිජනනාගාර තුළදී අභිජනනය කර පැටවුන් ලබාගැනීමට ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇත.

එසේ ලබා ගන්නා කුඩා පැටවුන් නැවතත් මිරිදියට හුරුකර වැව්වලට මුදා හැරීම සිදු කරයි.

බොහෝ වැව් වල මත්ස්‍ය සම්පත හිඟවීම හේතුවෙන් තමන් දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටින නමුත් කර අඬු ඉස්සන් අල්ලා ගැනීමට හැකියාව ලැබීම නිසා කිසියම් ආකාරයක සහනයක් ඇති බවද ධීවරයින් සඳහන් කර ඇත.

මෙරටට ආවේණික මෙම ඉස්සන් වර්ගය තව තවත් මෙරට ඇති වැව් වලට මුදා හැර ඒ තුළින් මිරිදිය ධීවරයගේ ජීවන තත්ත්වය නංවාලීම මෙන්ම මෙරටට විදේශ විනිමය ලබා ගැනීමට දායකත්වය සැපයීම තම අරමුණ බව ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත.