ත්‍රස්ත සාමාජිකයෙක් බවට සැකකරන අයෙක් ඇතුළු 16ක් අත්අඩංගුවට

ත්‍රස්ත සාමාජිකයෙක් බවට සැකකරන අයෙක් ඇතුළු 16ක් අත්අඩංගුවට

April 25, 2019   07:40 am

දිවයින පුරා ඊයේ (24) සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසා සිටියි.

ඒ අතර ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර මට්ටක්කුලිය, කාකදූපත, මුහාජරීන් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරතුර සැක කටයුතු පුද්ගලයින් 18 දෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරක් මත ඊයේ (24) දිනයේ මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇති බව සඳහන්ය.

එහිදී නිවාස 85ක් හා පුද්ගලයින් 380 දෙනෙකු පරික්ෂාවට ලක් කර ඇති අතර අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වූ හා ජංගම දුරකතනවල තිබූ දත්ත පිළිබඳ ඇති වූ සැකසහිත භාවය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානයට භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

මෙහිදී ජංගම දුරකතන තුනක් ද විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන ඇත.

මේ අතර කයිට්ස් වේලෙනෙයි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නාදුනන නිවසක රැදී සිටිමින් අසත්‍ය ප්‍රකාශ සිදු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා නිවසේ රඳවා ගැනීම හා අසත්‍ය ප්‍රකාශ ලබාදීම සම්බන්ධයෙන් එම නිවසේ හිමිකරු ද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.