දේශපාලනයේ රැඩිකල් වෙනසක් ඇති කළ යුතුයි

දේශපාලනයේ රැඩිකල් වෙනසක් ඇති කළ යුතුයි

February 18, 2019   02:00 pm

රට එක තැනක හිරවී ඇති බවත් එය වෙනස් කිරීම සඳහා දේශපාලනයේ රැඩිකල් වෙනසක් ඇති කළ යුතු බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.‍

ඊයේ (17) මොණරාගල දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 40ක් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිත සූර්ය විදුලිබල උද්‍යානයේ ප්‍රථම අදියර කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

'අපිට නිදහස ලැබුණා කියලා  කථා කලාට සැබෑ ආර්ථික නිදහස ලැබිල තියෙනවාද. නිදහස වචනය  පාවිච්චි කරලා සමහර අය අන්තවාදීව කටයුත කරනවා. තවත් අය ජාතිභේද ඇති කරනවා. අපිට අවශ්‍යවන්නේ රට වෙනුවෙන් කතා කරන්න පුළුවන් නායකයින් බිහි කිරීමයි. 

අවුරුදු  71 ක් තිස්සේ අපි විධායක බලතල ඇතිවල විධායක බලතල නැතිව මේ රට පාලනය කරලා තිබෙනවා. එදා 1978 මේ ක්‍රමය රටට ගෙනාවේ මේ ක්‍රමය රටට සුදුසුයි කියලා හිතපු නිසයි. 

නමුත් ජේ.ආර්. ජයවර්ධන,  ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ මේ හැමෝම මේක හොදයි කිව්වට වැඩිකල් යන්න ඉස්සෙල්ලා මේක නරකයි කියලා හැමෝම කියන්න ගත්තා. අහෝසි කරන්න ඕනයි කියන මතයට ආවා. මම දැනුත් කියන්නේ අපි ජනතාවට දුන්න පොරොන්දුව වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිලිවෙලට අපි යොමුවිය යුතුයි. 

මේකෙන් වෙන්නේ එක්කෙ‍නෙක් වටා රොක්වෙන එක පමණක් නිසා, අපි මේක අහෝසි කිරීමේ වැඩපිළිවෙලට යොමුවන්න අවශ්‍යයි. ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් මේක කරන්න අවශ්‍යයි. 

මම විපක්ෂයෙනුත් ඉල්ලන්නේ සියලුම පක්ෂ මේ අවස්ථාව උපයෝගි කරගෙන රටට අවශ්‍ය පාර්ලිමේන්තු ක්‍රමයකට ඒ තියෙන වටිනාකම් එකතු කරලා වෙනසක් ඇති කරන්න. 

අපට අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා නෙමෙයි, විධායකය අහෝසි කරගෙන මේ රටේ ජනතාවගේ හදවත තුළින්  එන ව්‍යවස්ථාවක් ඇති කිරීමයි. මම නැවතත් කියන්නේ අපි රැඩිකල් වෙනසක් ඇතිකල යුතුයි. 

ඡන්දෙ කාලෙට ඇවිත්, මම එන්නේ මේ ක්‍රමය අහෝසි කරන්න, වෙනසක් කරන්න කියලා ජනතාවට කියන එක නෙමෙයි.

 ඒ වෙනස ඇති කරලා ඒ අළුත් ව්‍යවස්ථාවක් තුළින් අපි ඡන්දයකට යායුතුයි. ඒ ව්‍යවස්ථාව, ඒකීයභාවයත් රැකගෙන රටේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීලා, අනෙකුත් ආගම් වලටත් සමතැන දීලා කටයුතු කළ යුතුයි. 

මේ රට එක තැනක හිරවෙලා තියෙන්නේ.  ඒක වෙනස් කරන්න දේශපාලනයේ රැඩිකල් වෙනසක් ඇතිකළ යුතුමයි '